• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා සතොස ප්‍රතිව්‍යූහගත කිරීම

- ලංකා සතොස කලක් තිස්සේ ඌන කාර්යසාධනයකින් යුක්තව ක්‍රියාත්මක වේ. මෙහෙයුම් දෝෂ සහ මූල්‍ය කළමනාකරණයේ අඩුලුහුඬුකම් මෙම අසීරු තත්ත්වයට තුඩු දී ඇති ප්‍රධාන හේතු අතර වේ. 2014 වර්ෂය අග භාගයේදී ඉතා විශාල වශයෙන් සතොස හරහා වැඩි මිලට සහල් ආනයනය කර අඩු මිලට විකිණීම නිසාත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍ර‍ව්‍ය අඩු මිලට ලබා දීම හේතුවෙනුත් සතොස ආයතනයට රුපියල් බිලියන 5.1 ක පමණ අලාභයක් සිදු වී ඇත. එක් අතකින් වර්තමානයේ සතොස ආයතනය මුහුණ පා ඇති එකී අයහපත් මූල්‍ය අපහසුතා ගැනත් අනෙක් අතට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍ර‍ව්‍යයන්හි මිල ඉහළ යාම පාලනය කිරීම සදහා පෞද්ගලික අංශය සමඟ තරග කරමින් සතොස විසින් ඉටු කරනු ලබන කාර්යභාරයත් සැලකිල්ලට ගෙන සතොස ආයතනය ප්‍ර‍තිව්‍යූහගත කිරීම කෙරෙහි රජයේ ප්‍ර‍මුඛ අවධානය යොමු වී තිබේ. ඒ අනුව, දැනට සතොස ගබඩාවල අතිරික්තව ඇති සහල් වර්තමාන වෙළඳපොළ මිලට විවෘත ටෙන්ඩර් මඟින් අලෙවි කර එම ආදායම සහල් ආනයනය කිරීම පිණිස රාජ්‍ය බැංකු මඟින් ලබාගත් ණය ශේෂය වන රුපියල් බිලියන 9.9 ක මුදල නිරවුල් කිරීම පිණිසත්, රුපියල් බිලියන 4 ක ණය මුදලක් ලබා ගැනීම වෙනුවෙන් ණය පහසුකම් ලිපියක් මහා භාණ්ඩාගාරය විසින් රාජ්‍ය බැංකුවක් වෙත නිකුත් කිරීම මඟින් සතොස ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.