• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කඩනමින් ප්‍රතිචාර දක්වන හදිසි ගිලන් රථ වෛද්‍ය රැකවරණ සේවයක් ඇති කිරීම

- කිසියම් අනතුරකට, ආපදාවකට හෝ හදිසි තත්ත්වයකට පත් වන තැනැත්තන්ගේ ජිවිතය බේරා ගැනීම, තවදුරටත් තුවාල සිදු කිරීම වැලැක්වීම හා ඉක්මන් සුවය ළඟා කර ගැනීමේ ලා එවැනි සිදුවීමකින් පසු පළමු මිනිත්තු 30 ඇතුළත ලැබෙන වෛද්‍ය රැකවරණය ඉතා වැදගත් වේ. එවැනි හදිසි ගිලන් රථ වෛද්‍ය රැකවරණ සේවයක් දැනට ඉන්දියාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් දැනට ඉන්දියාවේ ක්‍රියාත්මක වන එම ගිලන්රථ සේවාවට සමාන සේවාවක් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට මෑතකදී ඉන්දීය අගමැතිතුමා විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංචාරයේදී එකඟවන ලදී. ඒ අනුව, නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය තවදුරටත් ඉහළ නංවමින් මෙවැනි ලාභ නොලබන සේවයක් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි ගිලන් රථ 297ක් සහ සාමාජිකයින් 2,000ක පුහුණු කාර්ය මණ්ඩලයක් සහිතව අදියර 4 කින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එහි පළමු අදියර බස්නාහිර පළාතේ හා දකුණු පළාතේ ගිලන්රථ 88 ක් යෙදවීම මඟින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා වැය වන ඇමරිකන් ඩොලර් මිලියන 8ක මුදල ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ලබාගැනීමටත් ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.