• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම

- පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබා දීමේ පරමාර්ථයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් 2005 අංක 36 දරන අයවැය සහන දීමනා පනතේ යොදා ගෙන ඇති ක්‍රමවේදය හා සමාන නීතියක් ගෙන ඒමේ අවශ්‍යතාව සැලකිල්ලට‍ ගෙන අදාළ කාර්යය සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන එම පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට යෝජනා කර ඇත.

* පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ගේ අවම මාසික වැටුප රු.10,000/-ක් වනු ඇත. ඒ අනුව, අවම දෛනික වැටුප රු.400/-ක් වනු ඇත.

* 2015 මැයි මස 01 වන දින සිට එය මූලික වැටුප වශයෙන් ක්‍රියාත්මක වනු ඇත.

* පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් රු.2,500/-කින් වැඩි කිරීමේ පළමු පියවර වශයෙන් 2015‑05‑01 දින සිට සේවකයන්ගේ දැනට පවත්නා වැටුප රු.1,500/-කින් වැඩි කරනු ලබන අතර ඒ අනුව දෛනික වැටුප් ලබන සේවකයින්ගේ වැටුප ද රු.60/-කින් වැඩි කරනු ඇත.

* දෙවන පියවර යටතේ වැටුප් වැඩි කිරීම 2016‑01‑01 දින සිට ක්‍රියාත්මක වන අතර 2015‑12‑31 දිනට ගෙවනු ලබන වැටුප තවත් රු.1,000/-කින් වැඩි කරනු ඇත. ඒ අනුව ‍ දෛනික වැටුප් ලබන සේවකයින්ගේ වැටුප ද රු.40/-කින් වැඩි කරනු ඇත.