• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය

- ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාව පසුගිය දශකයක කාලය තුළ වාර්ෂිකව 5% - 7% සාමාන්‍ය අගයකින් ඉහළ යමින් පවතින අතර, රටේ ආර්ථික සංවර්ධනය සමඟ එම තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇත. එම නිසා විදුලිබල උත්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන අතරම, මෙරට සියලු ජනතාවට නිසි ප්‍රමිතියකින් යුතු විදුලි සැපයුමක් බාධාවකින් තොරව ලබා දීම පිණිස විදුලිබල සම්ප්‍රේෂණයේදී සිදුවන අපතේ යෑම් අවම කරගනිමින් විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, ඒ සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ජපාන යෙන් මිලියන 24,930 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 26,873 ක්) ණය මුදලක් ලබා දීමට ජපාන රජය එකඟ වී ඇත. ඊට අදාළ හුවමාරු පත්‍ර ජපාන රජය සමඟ අත්සන් කිරීමටත්, මෙම ව්‍යපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය අතර ණය ගිවිසුමකට එළඹීම පිණිසත් ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.