• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කලාපය සංවර්ධනය කිරීමේ සැලසුම් සකස් කිරීම

- බස්නාහිර කලාපය හා කොළඹ නගරය දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන කලාපයක්/නගරයක් වන අතර, මෙම කලාපය රටේ ආර්ථික වර්ධනයෙහි අතිශය වැදගත් තැනක් ගනී. මනා නගර සංවර්ධන ක්‍රමෝපායක් පැවතීම තිරසර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ. කොළඹ නගරය නුදුරු අනාගතයේදී දකුණු ආසියාවේ කැපී පෙනෙන නගරයක් බවට සහ කලාපීය මූල්‍ය හා ව්‍යාපාර කේන්ද්‍රය බවට පත් කිරීමට යෝජනා වී ඇත. පුළුල්, සියල්ල ඇතුළත් සක්‍රීය සැලසුම් ක්‍රියාවලියක් මඟින් බස්නාහිර කලාපය සහ කොළඹ නගරය සංවර්ධනය කිරීම උදෙසා මඟපෙන්වීම රජයේ වගකීමයි. ඒ අනුව, සැලසුම් ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින්, 2004 වර්ෂයේදී සැකසුණු බස්නාහිර කලාප මෙගාපොලිස් සැලැස්ම (Western Region Megapolis Plan) වර්තමානයට ගැළපෙන පරිදි සකසා ගැනීමටත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.