• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික විගණන පනත් කෙටුම්පත

- රජයේ දින 100 වැඩසටහන යටතේ ජාතික විගණන පනත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන බවට ප්‍රතිඥා දී ඇත. ඒ අනුව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පැවරී ඇති බලතල ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද ඉහත සඳහන් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථාව ප්‍රකාර හදිසි පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඉහත පනත් කෙටුම්පතෙහි විශේෂ ලක්ෂණ පහත පරිදි වේ:

* මෙමඟින් මහජනතාව අතරින් කිසියම් පුද්ගලයකුට කිසියම් කරුණක් විගණකාධිපතිවරයාගේ අවධානය වෙත යොමු කිරීමේ අයිතිය හිමිවන අතර, විගණකාධිපතිවරයාට එවන් කරුණු විමර්ශනය කර පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කළ හැකිය.

* කාර්යසාධන විගණන, තාක්ෂණ විගණන ආදිය සඳහා ශ්‍රී ලංකාවේ විගණන ප්‍රමිතීන් නිශ්චිතව දක්වා නොමැති අවස්ථාවලදී අන්තර්ජාතික ප්‍රමිතීන් අදාළ කර ගැනීමට ඉඩ සැලසේ.

* සිය රාජකාරි ඉටු කිරීමේදී කිසියම් විගණන නිලධාරියකු වෙත ලැබෙන කිසියම් තොරතුරක් හෙළි නොකිරීමේ වගකීම ඔහු වෙත පවරයි.

* විගණකාධිපතිවරයා විසින් අදාළ වසර තුළ ඔහු විසින් සිදු කරන ලද විගණනයන් හි ප්‍රතිඵල පාර්ලිමේන්තුව වෙත වාර්ෂිකව වාර්තා කළ යුතුය.

* විගණකාධිපතිවරයා විසින් වසර තුනකට වරක් තාක්ෂණික වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

* ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් පත් කරනු ලබන විගණන සේවා කොමිසමක් ස්ථාපිත කෙරේ.

* ‍යෝජිත පනත බලාත්මක වන දිනයේ සිට විගණකාධිපති දෙපාර්තමේන්තුව අහෝසි වී එහි කටයුතු විගණන සේවා කොමිෂන් සභාවට පැවරෙනු ඇත. එම දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන කාර්ය මණ්ඩලය නව කොමිෂන් සභාවට අන්තර්ග්‍රහණය කෙරෙනු ඇත.