• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත

- රජයේ දින 100 වැඩසටහන යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන බවට ප්‍රතිඥා දී ඇත. ඒ අනුව, ඉහත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථාව ප්‍රකාර හදිසි පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඉහත පනත් කෙටුම්පතෙහි විශේෂ ලක්ෂණ පහත පරිදි වේ:

* තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම හිමි වේ.

* තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය යන්නෙන් රාජ්‍ය ආයතනයක් සතු, එහි භාරය යටතේ හෝ පාලනය යටතේ පවතින එවන් තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය අදහස් වේ. එසේ වුවද, පහත සඳහන් අවස්ථාවලදී තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකිය:

(i) මහජන කටයුත්තකට හෝ බැඳියාවකට කිසිදු සම්බන්ධයක් නොමැති පෞද්ගලික තොරතුරු හා බැඳුණු තොරතුරු හෝ හෙළි කිරීම නිසා තැනැත්තෙකුගේ පෞද්ගලිකත්වයට හානි පමුණුවන ආකාරයේ තොරතුරු.

(ii) හෙළි කිරීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවට හෝ ජාතික ආරක්ෂාවට බැරෑරුම් ලෙස බලපාන ආකාරයේ හෝ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතාවලට හෝ ජාත්‍යන්තර නීතිය යටතේ එහි බැඳීම්වලට බරපතළ අගතියක් සිදු කිරීමට ඉඩ ඇති තොරතුරු.

(iii) හෙළි කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ ලෙස අගතිදායක විය හැකි තොරතුරු.

(iv) හෙළි කිරීම මඟින් කිසියම් පුද්ගලයකුගේ වාණිජමය බැඳියාවන්ට හානි පමුණුවන හෝ කිසියම් වෙළඳ රහසක් අනාවරණය වන තොරතුරු.

(v) හෙළි කිරීම මඟින් කිසියම් පුද්ගලයකු හා සම්බන්ධ වෛද්‍ය වාර්තා පිළිබඳව අනාවරණය වන තොරතුරු.

(vi) සාක්ෂි ආඥාපනතේ 126 වගන්තිය යටතේ අවසර ලබා දී නොමැති තොරතුරු හෙළි කිරීම.

(vii) කිසියම් විශ්වසනීය සබඳතාවක් (fiduciary relationship) පැවතීම හේතුවෙන් රහස්‍ය ලෙස සැලකීමට අවශ්‍ය තොරතුරු.

(viii) ‍කිසියම් අපරාධයක් වැළැක්වීම හෝ සොයා ගැනීම හා සම්බන්ධ තොරතුරු හෝ වැරදිකරුවන් අල්ලා ගැනීම හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට අදාළ කිසියම් තොරතුරක් හෙළි කිරීම නිසා එකී කටයුතුවලට බාධාකාරී විය හැකි තොරතුරු.

(ix) කිසියම් රාජ්‍ය ආයතනයක් විසින් රහස්‍ය ලෙස ලබාගත යුතු බවට තීරණය කර ඇති තොරතුරු.

(x) හෙළි කිරීම මඟින් අධිකරණයට අපහාසයක් හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් සිදු විය හැකි තොරතුරු.

(xi) ‍විභාග දෙපාර්තමේන්තුව හෝ උසස් අධ්‍යාපන ආයතනයක් විසින් පවත්වන ලද විභාගයක් හා බැඳුණු රහස්‍යභාවය පවත්වාගෙන යා යුතු තොරතුරු.

* තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම පහසු කරලීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ස්ථාපිත කෙරේ. රහස්‍ය ලෙස තබාගත යුතු තොරතුරු මොනවාදැයි තීරණය කිරීමට මෙම කොමිෂන් සභාව මැදිහත්වනු ඇත.

* මෙහි විධිවිධාන ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇත.