• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉදිරිපත් කෙරෙන ව්‍යාපෘති යෝජනා

පසුගිය වර්ෂ කිහිපය තුළදී ටෙන්ඩර් කැඳවීමකට ප්‍රතිචාර වශයෙන් නොව ව්‍යාපෘති යෝජකයා විසින් සිය කැමැත්තෙන් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනා (Unsolicited Project Proposals) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර, එය විවේචනයන්ට බඳුන් වූ කරුණක් විය. එවන් කැඳවුමක් නොලද ඇතැම් ව්‍යාපෘති යෝජනා වල මිල ගණන් තීරණය වන්නේ තරඟකාරි පදනමකින් නොවන නිසා එමඟින් රටට දැරිය නොහැකි අධික පිරිවැයක් දැරීමට සිදුව ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ටෙන්ඩර් කැඳවීමකින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කෙරෙන ව්‍යාපෘති යෝජනා ප්‍රතිපත්තියක් වශයෙන් පිළිනොගැනීම.

* අනාගතයේදී එවැනි සියලු යෝජනා සම්බන්ධයෙන් රජයේ ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කිරීම.

* දැනට විවිධ මට්ටමින් ක්‍රියාත්මක වන යෝජනා සමාලෝචනය කොට රටට විශේෂිත ආර්ථිකමය වටිනාකමක් ලැබෙන එක් එක් යෝජනා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.