• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දණ්ඩ නීති සංග්‍රහයට කරන සංශෝධන

- ශ්‍රී ලංකාව අත්විඳිනු ලැබූ සන්නද්ධ අරගලය දෙස ආපසු හැරී බලා, එහි අත්දැකීම් ඔස්සේ ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී එකී ගැටලුවලට පිළියම් යොදමින් සාමය ගොඩනඟන යුගයක් උදා කරගැනීම සහතික කරනු පිණිස උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම (LLRC) පත් කෙරුණු අතර, පසුගිය දශක හතරක හෝ පහක කාලය තුළදී සිදු කෙරුණු ‘වෛරය දනවන ස්වරූපයේ අදහස් පළ කිරීම්’ වාර්ගික අසමඟියට දායක වී ඇති අවස්ථා කොමිසම විසින් නිරීක්ෂණය කර ඇත. එනිසා, ජනවාර්ගිකත්වය සහ ආගම සම්බන්ධයෙන් සිදු කෙරෙන එවන් වෛරය දනවන ප්‍රකාශනයන් වාර්ගික හා ආගමික අසහනය උග්‍ර කරන බැවින් එවන් තත්ත්වයන් වැළැක්වීමට නීති පැනවිය යුතු බවටත්, එම නීති තරයේම බලාත්මක කළ යුතු බවටත් එම කොමිසම නිර්දේශ කර ඇත. ඒ අනුව ආගමික හා වාර්ගික එදිරිවාදිකම්වලට අනුබල දෙන අන්දමේ අදහස් දැක්වීම තහනම් කිරීමටත් එසේ අදහස් දක්වන තැනැත්තන්ට දඬුවම් කිරීමටත් අවශ්‍ය ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කොට නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කරනු ලැබූ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනුමැතිය සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.