• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මූලස්ථායි වැඩවල ඉදිරි කටයුතු

- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මූලස්ථායි වැඩවල ඉදි කිරීම් කටයුතු සඳහා ඉරානයේ ෆරාබ් සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මේ වන විට ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය 47% ක් පමණ වේ. එසේ වුවද, 2014 වර්ෂය අග සිට ඇති වූ, ප්‍රධාන උමඟ තුළට ජලය කාන්දු වීමේ සංසිද්ධියත් සමඟ බණ්ඩාරවෙල සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම සේවා වසම් 06 ක ළිං සිඳී යාම, ගෙවල් ඉරි තැළීම හා වගා විනාශ වීම වැනි සමාජ-ආර්ථික ගැටලු රැසක් නිර්මාණය වී ඇත. එම තත්ත්වයන් පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් හා මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂයෙන් පත් කළ විද්වත් මණ්ඩලයකින් නිර්දේශ ලබා ගෙන ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳ තීරණයක් ගැනීම පිණිස පෙර දිවුම් උමඟෙහි (Head Race Tunnel) ජල කාන්දුව නතර කිරීමට අවශ්‍ය කටයුතු සඳහා සහ ඉදි කිරීම්වල අවදානම් තත්ත්වය මඟහැරවීම පිණිස අත්‍යවශ්‍ය වැඩ හැර, ව්‍යාපෘතියේ මූලස්ථායී වැඩවල ඉදි කිරීම් 2015‑02‑16 දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත. එම විද්වත් මණ්ඩලයේ හා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තා මේ වන විට ඉදිරිපත් කර ඇත. එම වාර්තා මඟින් නිර්දේශිත ප්‍රතිකර්ම බොහෝමයක් කොන්ත්‍රාත්කාර ඉදි කිරීම් සමාගම විසින් ඉටු කළ යුතුව ඇති අතර, ඉදිරියේදී ඉහත සඳහන් කළ තත්ත්වයන් ඇති නොවීම පිණිස පසු විපරම් කටයුතු සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන, උමඟ තුළට ජලය කාන්දු වීම හේතු කොට ගෙන හානියට පත්ව ඇති නිවාස 600 ක් පමණ ඉදි කර දීමටත්, බලපෑමට ලක් වූ පවුල් සඳහා පානීය නළ ජලය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් අඛණ්ඩව ලබා දීමටත්, මධ්‍යම පරිසර අධිකාරිය හා විද්වත් මණ්ඩලය මඟින් ලබා දී ඇති නිර්දේශ සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විෂය භාර අමාත්‍යතුමා සහ ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.