• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සූතිකාධාර ආඥාපනතට සහ සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනතට සිදු කෙරෙන සංශෝධන

- රාජ්‍ය අංශයේ සේවයේ නියුතු කාන්තාවන්ට ඔවුන්ගේ සජීවී දරු ප්‍රසූතියකදී දරු ප්‍රසූති වාර ගණන නොසලකා වැඩ කරන දින 84 ක නිවාඩුවකට හිමිකම් ලැබේ. එහෙත්, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවන්ට අදාළ වන සූතිකාධාර ආඥාපනත සහ සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත යන ව්‍යවස්ථා දෙක මඟින් දරුවන් දෙදෙනෙකුගේ ප්‍රසූතිය දක්වා පමණක් සජීවී දරු උපතකදී වැඩ කරන දින 84 ක නිවාඩු හිමිකමක් ලබා දෙන අතර, තුන්වන දරු උපතේදී සහ ඉන් අනතුරුව සිදු වන දරු උපත්වලදී හිමි වනුයේ වැඩ කරන දින 42 ක ප්‍රසූති නිවාඩු පමණක් වන අතර, සූතිකාධාර ලබා දීමද ඒ අනුව වෙනස් වේ. තවද, සූතිකාධාර ආඥාපනත යටතේ වතු වැවිලි අංශයේ සේවයේ නියුතු කාන්තාවන් සඳහා සූතිකාධාර වශයෙන් ලැබෙනුයේ සූතිකාධාරවලින් ¾ ක් පමණි. එහෙත්, සෙසු කාන්තාවන් සඳහා සූතිකාධාර සම්පුර්ණයෙන්ම හිමි වේ. ඒ අනුව, රාජ්‍ය, පෞද්ගලික හා වතු වැවිලි අංශයන්හි සේවයේ නියුතු කාන්තාවන්ට ප්‍රසූති නිවාඩු ලබා දීමේදී සහ සූතිකාධාර ගෙවීමේදී දක්නට ලැබෙන විෂමතා සම්බන්ධයෙන් වෘත්තීය සමිති, විවිධ සේවක කණ්ඩායම්, අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) හා මානව හිමිකම් ක්‍රියාකාරීන් ආදී සමාජගත විවිධ අංශ විසින් අවධාරණය කර ඇති කරුණුද සැලකිල්ලට ගෙන සේවයේ නියුතු කාන්තාවකට සජීවී දරු උපතක් සිදු වන්නේ නම්, පෞද්ගලික අංශයේ මෙන්ම වතු වැවිලි අංශයේ සේවය කරන කාන්තාවන් සම්බන්ධයෙන් ඒ වන විට ලැබී ඇති දරුවන් සංඛ්‍යාව සැලකිල්ලට නොගෙන වැඩ කරන දින 84 ක නිවාඩු හිමිකමක් ලබා දීමට සහ සූතිකාධාර සඳහා හිමිකම් ලබා දීමට අදාළව සූතිකාධාර ආඥාපනතට සහ සාප්පු හා කාර්යාලයීය සේවකයින් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනතට සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.