• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වකුගඩු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සහ දැනට රෝගය නිසා පීඩාවට පත්ව ඇති රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සුබසාධනය

මෙම කරුණ සම්බන්ධයෙන් 2015‑02‑11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත් කරනු ලැබූ අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සංයුතිය පහත සඳහන් පරිදි පුළුල් කිරීමට තීරණය කරන ලදී:

ගරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා
ගරු මුදල් අමාත්‍යතුමා
ගරු වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යතුමා
ගරු නාගරික සංවර්ධන,ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමා
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා
ගරු සමාජ සේවා, සුබසාධන හා පශුසම්පත් සංවර්ධන අමාත්‍යතුමා
ගරු නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමා
ගරු ආහාර සුරක්ෂිතතාව අමාත්‍යතුමා
ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමා
ගරු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා

එමෙන්ම, වකුගඩු රෝගය පාලනය කිරීමේ වැඩසටහනට අදාළව පහත සඳහන් තීරණයන්ට එළඹෙන ලදී:

දීපව්‍යාප්තව රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස ඉටු කිරීමත් රෝගය වැළැක්වීමට අදාළ කටයුතු කළමනාකරණය කිරීමත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවීම.

වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය සියලු සුබසාධන කටයුතු ක්‍රියාත්මක කිරීම සමාජ සේවා, සුබසාධන හා පශුසම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් සිදු කිරීම.

වකුගඩු රෝගය තදින් පැතිරෙන ප්‍රදේශවල ඉදි කර ගෙන යන ප්‍රතිආස්‍රැත ජල පෙරණ ඉදි කිරීමේ වැඩපිළිවෙළ නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම.

වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා හේතු වන සහල් නිපදවීම පිණිස අවශ්‍ය පාරම්පරික දේශීය වී වර්ග ප්‍රචලිත කිරීමේ වැඩසටහන වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීම.

මෙම සියලුම වැඩසටහන්වල කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති කාර්යාලය යටතේ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවීමටත්, විශේෂයෙන්ම රෝග නිවාරණයට අදාළව කටයුතු මෙහෙයවීම පිළිබඳ පළපුරුද්දක් සහිත ප්‍රවීණයකු ජනාධිපති ලේකම්වරයා විසින් එකී සම්බන්ධීකරණ ඒකකයේ ප්‍රධානියා වශයෙන් පත් කිරීම.

අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනුකාරක සභාවට සහායවීම පිණිස අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහ මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම.