• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශ කටයුතු ඇමතිතුමාගේ ඇමෙරිකානු නිල සංචාරය

- මෙම මස 11 හා 12 යන දෙදින තුළ තමන් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සාර්ථක නිල සංචාරයක යෙදුණු බවත්, එම නිල සංචාරයේදී ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් එෆ්. කෙරී මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට තමන්ට හැකියාව ලැබුණු බවත්, විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී. විශේෂයෙන්ම, රාජ්‍ය ලේකම් කෙරී මහතා සමඟ පවත්වන ලද සාකච්ඡාවලදී නව රජය විසින් ගනු ලැබ ඇති කඩිනම් ක්‍රියාමාර්ග අගය කරන බවත්, රජයේ දින 100 වැඩසටහන පිළිබඳව තමන් ඉතාමත් පැහැදීමකින් පසුවන බවත් එතුමා ප්‍රකාශ කළ බව අමාත්‍යතුමා විසින් දන්වා සිටින ලදී. එමෙන්ම, සිය සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී-මූන් මහතා හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාව උදා කරගත් බවත්, එහිදී ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන් අතර වන හැට වසරක මිත්‍රශීලී සබඳතා පිළිබඳව අවධානය යොමු කළ බවත් අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලය වෙත දන්වා සිටින ලදී. එමෙන්ම එළඹෙන මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව කල් තබන ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඇමතිතුමා විසින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීම සැලකිල්ලට ගෙන අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම මාස හයකින් (06) කල් දමා ගැනීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යතුමා විසින් වැඩිදුරටත් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වා සිටින ලදී.