• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යතුමියගේ ආරාධනය පරිදි ගරු විදේශ කටයුතු ඇමතිතුමා විසින් 2015 ජනවාරි මස 17-18 දිනවලදී ඉන්දියාවේ සිදු කරන ලද නිල සංචාරය

සිය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යතුමා, විදේශ කටයුතු ඇමතිතුමිය, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ නායිකා ශ්‍රීමතී සෝනියා ගාන්ධි මැතිනිය හා හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මැතිතුමා සමඟ දෙරටට වැදගත් වන ක්ෂේත්‍රයන් රැසක් පිළිබඳව සාකච්ඡා පවත්වන ලද බව ගරු විදේශ කටයුතු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වා සිටින ලදී. එසේම, ඉන්දීය අග්‍රාමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ බවත්, නව රජය පත්වීමත් සමඟ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන නව පරිච්ඡේදයක් ආරම්භ වන බව එතුමා ප්‍රකාශ කළ බවත් ගරු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම සඳහා ආරාධනා කළ ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා එතුමාව උණුසුම් අයුරින් පිළිගැනීමට සැදී පැහැදී සිටින බවත්, ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදීමට එතුමා බලාපොරොත්තු වන බවත් ගරු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී. මෙය 1987 න් පසුව ඉන්දියානු රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවේ කරනු ලබන ප්‍රථම නිල සංචාරය වනු ඇති බවද ගරු ඇමතිතුමා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී. මෙම සංචාරයේදී පහත සඳහන් ක්ෂේත්‍ර පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලද බව ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී:

(i) තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම;
(ii) කොළඹ-නුවර දුම්රිය මාර්ගය, ද්විත්ව මාර්ගයක් වශයෙන් වැඩිදියුණු කිරීම;
(iii) බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වතු ප්‍රජාව සඳහා නිවාස 4,000ක් ඉදි කිරීම;
(iv) සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීම සහ තලෙයිමන්නාරම රාමේෂ්වරම් අතරත් කොළඹ සහ ටියුටිකොරින් අතරත් බෝට්ටු ප්‍රවාහන සේවය නැවත ආරම්භ කිරීම;
(v) ‍වෙළඳ හා ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම;
(vi) දෙරටේ ධීවරයින් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු.