• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා විශේෂ කොමිෂන් සභා පත් කිරීම

- මෙම කරුණ පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද සංදේශය හා ගරු විදුලිබල හා බලශක්ති ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද සංදේශය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. ඒ අනුව, ජාතික විධායක සභාව විසින් නිර්දේශ කරන ලද පරිදි පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත ‘දූෂණ විරෝධී කමිටුව’ ස්ථාපනය කිරීම අනුමත කරන ලදී:

(i) අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා - (සභාපති);
(ii) විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා;
(iii) විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා;
(iv) නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමා;
(v) පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජාතික සන්ධානයේ නායක ගරු ආර්.සම්බන්ධන් මැතිතුමා;
(vi) පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනතා විමුක්ති පෙරමුණේ නායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා;
(vii) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්.ඒ.සුමන්තිරන් මැතිතුමා;
(viii) ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මැතිතුමා;
(ix) ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා;
(x) නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා; සහ
(xi) මලික් සමරවික්‍රම මහතා.

මෙකී කමිටුවේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ක්ෂණික ප්‍රතිචාර කමිටුවක් පිහිටුවීම සඳහාද අනුමැතිය ලබා දෙන ලදී. එම කමිටුව සමන්විත වනුයේ පහත සඳහන් සාමාජිකයින්ගෙනි.

(i) පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනතා විමුක්ති පෙරමුණේ නායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා - (සම්බන්ධීකාරක);
(ii) රාජ්‍ය නිලධාරින්;
(iii) පොලිස් නිලධාරින්;
(iv) නීතීඥවරුන්;
(v) මූල්‍ය හා විගණන විශේෂඥයින්;
(vi) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්.

මෙහිදී දූෂණ මර්දනය සඳහා දැනට පවතින නීතිමය රාමුව පිළිබඳවත් පවත්නා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අවස්ථා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් විශේෂ පනතක් හඳුන්වා‍ දීමේ යෝග්‍යතාව පිළිබඳවත් සාකච්ඡා කරන ලදී. දැනට තිබෙන ව්‍යවස්ථාපිත ආයතනික රාමුව තුළ තෝරා ගැණුනු සුදුසු නිලධාරින් අවශ්‍ය අවස්ථාවන්හි පත් කොට එම ආයතන මගින් ගත හැකි කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ද තීරණය විය. එහිදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වැඩිදුරටත් තීරණය කරන ලදී.

යෝජිත කෙටිකාලීන ක්‍රියාමාර්ග

(i) ජනාධිපති මැතිවරණ සමයේ බෙදා හැරීම සඳහා ගෙනැවිත් දැනට ගබඩා කර ඇති භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒවා හෙළිදරව් කිරීම;

(ii) ඉඩම්, චංචල හා නිශ්චල දේපළ දූෂිත ලෙස අත්පත් කර ගැනීම පිළිබඳව සොයාබලා ඒවා හෙළිදරව් කිරීම;

(iii) සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළඳපොළ වංචා හා දූෂණ පිළිබඳව සොයා බලා හෙළිදරව් කිරීම; සහ

(iv) මහා පරිමාණ දූෂණයන්ට වගකිව යුතු ජාවාරම්කරුවන් ලෙස සැක කෙරෙන පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

යෝජිත දිගුකාලීන ක්‍රියාමාර්ග

(i) වංචනික ලෙස ශ්‍රී ලංකාවෙන් පිට කරන ලද මුදල් පිළිබඳව සොයා බලා ඒවා අත්පත් කරගැනීම හා වැරදිකරුවන්ට දඬුවම් කිරීම;
(ii) වඩා ශක්තිමත් අල්ලස් හා දූෂණ කොමිසමක් හඳුන්වා දීම;
(iii) ජාතික ප්‍රසම්පාදන කොමිසමක් පත් කිරීම හා එමඟින් සියලුම ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දීම;
(iv) ජාතික විගණන පනත ඉදිරිපත් කිරීම; සහ
(v) ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම.

මූල්‍ය ක්ෂේත්‍රයේ සිදු වන අක්‍රමිකතා පරීක්ෂා කර බැලීම සඳහා සුවිශේෂ දක්ෂකම් ඇති කණ්ඩායමකගේ දායකත්වය ලබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු අතර, ඒ සඳහා ඉන්දියාවේ මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය බුද්ධි ඒකකයේ (Financial Intelligence Unit) විශේෂඥයින්ගේ සහාය මෙන්ම ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ විශේෂඥයින්ගේ සහාය ද ලබා දීමට එම ආයතන විසින් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව ද ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වා සිටින ලදී.

හෙළිදරව් නොකළ වත්කම්වල මූලාශ්‍ර හෙළිදරව් කිරීම අනිවාර්ය කිරීම සඳහා පුළුල් ප්‍රතිපාදන සහිත පනතක් කඩිනමින් හඳුන්වාදීමට සහ දැනට පවතින ආයතන වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ පුළුල් බලතල සහිත ආයතනයක් පිහිටුවීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද අනුමැතිය ලබා දෙන ලදී:

(i) අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමා - (සභාපති);
(ii) විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා;
(iii) විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා; සහ
(iv) නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමා.

එක් එක් අමාත්‍යාංශය යටතේ සිදු වී ඇති දූෂණ පිළිබඳ තොරතුරු හැකි තාක් දුරට සාක්ෂි සහිතව ඉතා ඉක්මණින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙසද ගරු අමාත්‍යතුමන්ලාගෙන් ඉල්ලා සිටින ලදී.