• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ වී තොග රැස්කරන්නන් සවිබල ගැන්වීමේ වැඩසටහන

- වී මිල දී ගැනීම හා සහල් සකස් කර බෙදා හැරීම මඟින් ගොවීන්ට වී සඳහා රජය සහතික කළ මිලක් ලබා දීමේ ක්‍රියාවලියටත් පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සහල් ලබා දීමටත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ සහ වී තොග රැස් කරන්නෝ විශාල වශයෙන් දායක වෙති. රටෙහි මාසික සහල් පරිභෝජනය මෙ.ටො. 180,000 ක් පමණ වන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නන්ට වෙළඳපොළ සහල් අවශ්‍යතාවෙන් 60% ක් පමණ නිපදවීමේ හැකියාව තිබේ. කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා වී තොග රැස් කරන්නන් මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීම‍ට සහ ස්වභාවික ආපදා මඟින් හා අස්වැන්න හානි වීම හේතුවෙන් පසුගිය කාලය තුළ ගෙවීමට නොහැකි වූ ඔවුන්ගේ ණය මුදල් පියවා ඔවුන්ට ඉක්මන් සහන සැලසීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා වී තොග රැස්කරන්නන් විසින් රාජ්‍ය බැංකුවලින් වී මිල දී ගැනීම සඳහා ලබා ගත් ණය මුදල් නොගෙවීම සම්බන්ධයෙන් එම බැංකු විසින් ඔවුන්ට එරෙහිව මෙතෙක් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවීම;

* ඔවුන් විසින් වී මිලදී ගැනීම සඳහා 1997 සිට 2010 දක්වා කාලය තුළදී ඔඩපණ ණය සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය මුදල්වල ඉතිරි වී ඇති ණය ශේෂය කපා හැරීම සහ මහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකුවලට අවශ්‍ය අරමුදල් ලබා දීම;

* 2013/2014 මහ කන්නයේදී සහ 2014 යල කන්නයේදී වී මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකු විසින් ලබා දුන් ඔඩපණ ණය මුදල් නැවත ගෙවීම සඳහා 2015-01-01 දින සිට බලපැවත්වෙන පරිදි මාස හයක (06) සහන කාලයක් ලබා දීම;

* ඔවුන් විසින් සපයන ලද සම්බා සහල් හා අනෙකුත් සහල් තොග කිලෝවක මිල පිළිවෙළින් රු. 85/- කට සහ රු. 82/- කට සීමාසහිත ලංකා සතොස මඟින් මිල දී ගැනීම සහ ඒ සඳහා සීමාසහිත ලංකා සතොස ආයතනය වෙත මූල්‍යමය පහසුකම් සැපයීම;

* ඔවුන්ගේ විදුලිබල අවශ්‍යතාව සලකා බලමින්, ගාස්තු අය කිරීමකින් තොරව ඔවුන්ට ඔවුන්ට විදුලි ට්‍රාන්ස්ෆෝමර ලබා දීම සහ ඒ සඳහා වන පිරිවැය රජය විසින් දැරීම; සහ

* වී මිලදී ගැනීම හා ගබඩා ධාරිතාව වැඩිදියුණු කිරීම පිණිස සහ නූතන තාක්ෂණය හඳුන්වා දීම මඟින් සහල්වල ගුණාත්වය වැඩිදියුණු කිරීම පිණිස සහනදායී පොලී ප්‍රතිශතයකින් යුතු නව ණය යෝජනා ක්‍රමයක් ඔවුන් සඳහා ක්‍රියාත්මක කිරීම.