• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ 1 කොටස (මාතර සිට බෙලිඅත්ත) ඉදි කිරීමේ ව්‍යාපෘතිය

- කි.මී. 227 ක මුළු දිග ප්‍රමාණයකින් යුතු දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා ගාල්ල සහ මාතර නගර හරහා දිවෙයි. එය පිටත වටරවුම් මහාමාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ යෝජිත උතුරු අධිවේගී මාර්ගය මඟින් දකුණු පළාතේ පිහිටි හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වැනි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කොළඹ නගරය සමඟ සහ රටේ උතුරු ප්‍රදේශය සමඟ සම්බන්ධ කරනු ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා කි.මී. 96 ක මුළු දිගකින් යුක්ත වන අතර එහි 1 කොටස (මාතර සිට බෙලිඅත්ත දක්වා කි.මී. 30), 2 කොටස (බෙලිඅත්ත සිට වැටිය දක්වා කි.මී. 26), 3 කොටස (වැටිය සිට අන්දරවැව දක්වා කි.මී. 15) සහ 4 කොටස (අන්දරවැව හරහා මත්තල සිට හම්බන්තොට දක්වා කි.මී. 25) යන කොටස් 4 කින් සමන්විත වේ. මාතර සිට බෙලිඅත්ත දක්වා කි.මී. 30 ක දිගින් යුතු 1 කොටස ඉදි කිරීම සඳහා වන ණය එකඟතාවන්ට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.