• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාරිසරික නීතියේ ආධිපත්‍යය පිළිබඳ අධිකරණ ශක්නුතාව වර්ධනය කිරීමේ දකුණු ආසියානු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම

- පාරිසරික නීතියේ ආධිපත්‍යය සහ තිරසර හරිත සංවර්ධන ක්ෂේත්‍රයෙහි දකුණු ආසියාතික රටවල අධිකරණ ශක්නුතාව වර්ධනය කිරීම පිණිස අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කොට එම කාර්යයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ගරු අග්‍රවිනිශ්චයකාරතුමාගේ කාර්යාලය තුළ කුඩා ප්‍රමාණයේ එහෙත් කාර්යක්ෂමතාවෙන් යුත් ඒකකයක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන ආරම්භක ප්‍රතිපාදන සහ ආයතනික සහාය සලසා දීමට අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, 2014 අගෝස්තු මස 07 වන දින සිට 09 වන දින දක්වා කොළඹදී පැවැත්වුණු පාරිසරික යුක්තිය සහ තිරසර හරිත සංවර්ධනය පිළිබඳ දකුණු ආසියානු අග්‍රවිනිශ්චයකාරවරුන්ගේ වට මේස සාකච්ඡාවේ සමාරම්භක උළෙලේදී දකුණු ආසියාතික රටවල (ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව) අග්‍රවිනිශ්චයකාරවරුන් සහ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන් විසින් කෘතඥපූර්වකව පිළිගන්නා ලදී.

මෙම මූලාරම්භය සඳහා සිය සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව (ADB) ද ඉදිරිපත් වී සිටියි. මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව පරිසරය හා තිරසර සංවර්ධනයට අදාළ නෛතික කාරණා සම්බන්ධයෙන් අධිකරණ ශක්නුතාව වර්ධනය කිරීම පිළිබඳ විශිෂ්ටතම මධ්‍යස්ථානය බවට පත් වනු ඇති අතර කලාපයේ අධිකරණමය පුහුණු වැඩසටහන් සාමූහිකව සංවර්ධනය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට මෙම මධ්‍යස්ථානය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන(UNEP), ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ලෝක බැංකුව සහ අනෙකුත් සංවිධාන සමඟ සමීපව කටයුතු කරනු ඇත.

පාරිසරික නීතියේ ආධිපත්‍යයෙහි අධිකරණමය ශක්නුතා වර්ධනය සඳහා වන දකුණු ආසියානු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අදාළ කටයුතු කරගෙන යාම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.