• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල‍යේ 69 වන සැසි වාරය සඳහා අතිගරු ජනාධිපතිතුමා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර නියැළුණු සංචාරය - 2014 සැප්තැම්බර්

- 2014 සැප්තැම්බර් මස 22 සිට 27 වන දින දක්වා නිව්යෝර්ක්හි පැවැත්වුණු 2014 එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසියට සහභාගි වුණු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අතිගරු ජනාධිපතිතුමා විසින් මෙහෙයවන ලදී. ලෝක නායකයින් ඇතුළු රාජ්‍ය නායකයින් 100 දෙනෙකු හා ව්‍යාපාරික, මූල්‍ය හා සිවිල් සමාජයේ නායකයින් 800කට වැඩි දෙනෙකුගෙන් යුත් සංඛ්‍යාවක් සහභාගි වූ මෙම සමුළුවේ අරමුණ වූයේ 2015 පැරිස් නුවරදී අර්ථවත් විශ්වීය දේශගුණික එකඟතාවක් සඳහා දේශපාලනික ගම්‍යතාවක් ඇති කිරීම, කාබන් විමෝචනය අඩු කිරිම පිණිස සියලුම රටවල පරිවර්තනමය ක්‍රියා පිළිබඳව උනන්දුවක් ඇති කිරීම සහ දේශගුණික විපර්යාසයෙහි අහිතකර බලපෑම්වල‍ට මුහුණ දිය හැකි තත්ත්වයක් ගොඩ නැඟීමත්ය. දේශගුණික සමුළුව අමතමින් අතිගරු ජනාධිපතිතුමා දේශගුණික විපර්යාසයට මුහුණ දීම සඳහා රජය විසින් ගන්නා ලද පියවර සවිස්තරව දැක්වූ අතර පසුගිය අට අවුරුදු කාලය තුළදී ඒක පුද්ගල ආදායම තෙගුණ කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවත් රටෙහි ඒක පුද්ගල කාබන් විමෝචනය තවමත් මෙ.ටො. 1කට අඩුවෙන් පවතින බව පැවසීය. අතිගරු ජනාධිපතිතුමා අනෙකුත් රටවල්වලින් සහභාගිවූවන් සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වූ අතර මෙම සාකච්ඡාවලදී ගැටුමෙන් පසු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති අඛණ්ඩ ප්‍රගතිය, වත්මන් ආර්ථික පුනරුදය තුළ වෙළඳාම හා ආයෝජන සඳහා ඇති ඉඩප්‍රස්තා සහ එක්සත් ජාතීන්ගේ ක්‍රමය සමඟ මෙන්ම මානව හිමිකම් කවුන්සිලය හා බැඳුණු කරුණුවලදී ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සම්බන්ධ වීම අතිගරු ජනාධිපතිතුමා විසින් අවධාරණය කරන ලදී. අතිගරු ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක්වුණු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා විසින් මෙම තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත සපයන ලද අතර, එතුමා විසින්ද මෙම රැස්වීමට සහභාගි වූ වෙනත් රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ ඵලදායී සාකච්ඡා පවත්වා ඇත.