• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ග්‍රාමීය සංවර්ධන මූලාරම්භයන්

- පහත ව්‍යාපෘතින්ට අදාළ ක්‍රියාකාරකම් කර ගෙන යාම පිණිස සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* අලිමංකඩ ලුණු ලේවාය පුනරුත්ථාපනය හා යළි ක්‍රියාත්මක කිරීම - වර්ෂයකට මෙට්‍රික් ‍ටොන් (මෙ.ටො.) 20,000ක ඇස්තමේන්තුගත ලුණු නිෂ්පාදනයක් ළඟා කර ගැනීම පිණිස අදියර I වශයෙන් අක්කර 330ක් වූ ලේවාය භූමි ප්‍රදේශය පුනරුත්ථාපනය කොට යළි ක්‍රියාත්මක කරනු පිණිස “උතුරු වසන්තය” වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2014 වර්ෂයේදී රුපියල් මිලියන 100ක් ලබා දී ඇති අතර මුහුදු ජල තටාකය, වාෂ්පීකරණ පොකුණු, ස්ඵටීකරණ පොකුණු හා ලුණු පීඨිකා වැනි යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීමේ සංවර්ධන කටයුතු දැනට සිදු‍ කෙරෙමින් පවතියි. වර්ෂයකට ලුණු මෙ.ටො. 25,000 - 30,000ක තවත් ලුණු නිපදවනු පිණිස දෙවැනි (II) අදියර වශයෙන් 2015 වර්ෂයේදී අක්කර 447ක් පුනරුත්ථාපනය කොට යළි ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත. 2015 වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිත දෙවැනි (II) අදියරෙහි ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 125කි; සහ

* මත්ස්‍ය නිෂ්පාදනය ශක්තිමත් කිරීම හා ඒ සඳහා සහාය වීම පිණිස වීරවිල හා ලුණුවිල පිහිටි මත්ස්‍ය දැල් කම්හල් ශක්තිමත් කිරීම - දැනට වීරවිල මත්ස්‍ය දැල් කම්හලේ නිෂ්පාදන ධාරිතාව වර්ෂයකට මෙ.ටො. 120ක් වන අතර ලුණුවිල කම්හලේ නිෂ්පාදන ධාරිතාව වර්ෂයකට මෙ.ටො. 180කි. 2015 වර්ෂයේදී මෙම කම්හල් දෙක රුපියල් මිලියන 99.5ක පිරිවැයකින් නවීකරණය පිණිස යෝජනා වී ඇත.