• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම

ශ්‍රී ලාංකික ජනතාව වෙත උසස් මට්ටමක රෝගී සත්කාරක සේවා සපයන ශ්‍රී ලංකා ජාතික රෝහල, 2014 වසරේදී සිය 150 වැනි සංවත්සරය සමරයි. ජාතික රෝහලේ ගොඩනැඟිලි අතර බණ්ඩාරනායක ගොඩනැඟිල්ල ප්‍රධාන ගොඩනැඟිලි සංකීර්ණයක් වන අතර දැඩි සත්කාර ඒකක, ශල්‍යාගාර, ස්නායු ශල්‍ය ඒකකය, විකිරණ ඒකකය, උගුර-කන-නාසය පිළිබඳ ඒකකය, ප්ලාස්ටික් සැත්කම් ඒකකය වැනි ඒකක ගණනාවටම එමඟින් ඉඩපහසුකම් සැපයෙයි. බණ්ඩාරනායක ‍ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව, රුපියල් 190,236,982.37 ක පිරිවැයකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.