• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිඔය හා මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ඇඟලුම් හා ඒ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම

- වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය සහ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය හා එක්ව කරන ලද සමීක්ෂණයක් මඟින් අනාවරණය වූයේ වවුනියාව, අනුරාධපුරය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල මායිම් ප්‍රදේශයන්හි ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා කිරීමට කැමැත්ත දක්වන 2,500කට අධික පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන් 500 දෙනෙකු පමණ වෙනත් ප්‍රදේශයන්හි ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කිරීම මඟින් ඒ ආශ්‍රිත නිපුණතාවන් දැනටමත් අත් කර ගෙන ඇති බවත්ය. මෙම ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා ඉදි කිරීම තුළින්, කලකට පෙර පැවති ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව රජය විසින් මෙම ප්‍රදේශවල නැවත පදිංචි කරනු ලැබූ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවෙනු ඇති බව නිරීක්ෂණය කර තිබේ. වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස‍යේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් අක්කර 50 ක පමණ භූමිභාගයක, ඇඟලුම් හා ඒ හා බැඳුණු කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස ව්‍යාපෘති 05ක් සහ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස‍යේ කල්ලාරු ග්‍රාමයේ කොන්ඩච්චි ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අක්කර 25ක පමණ රජයේ ඉඩමෙහි තවත් ව්‍යාපෘති 05ක් ස්ථාපිත කිරීම පිණිස සහ ඊට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.