• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු අධිවේගී මාර්ගයේ එ‍ඬේරමුල්ල සිට ගලේවෙල දක්වා කොටස සහ ඈ‍ඳන අධිවේගී මාර්ගයේ (Link Expressway) පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදි කිරීම

- ඈ‍ඳන අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදි කිරීම සඳහා රජය විසින් ඉහළ ප්‍රමුඛතාවක් දෙනු ලැබ ඇත. උතුරු අධිවේගී මාර්ගයේ ඉහත දැක්වූ කොටස මඟින් ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, කුරුණෑගල, රිදීගම, මැල්සිරිපුර සහ ගලේවෙල යන ප්‍රධාන වාණිජ නගර යා කෙරෙනු ඇති අතර, ඈ‍ඳන අධිවේගී මාර්ගයේ ඉහත කොටස මඟින් රඹුක්කන සහ ගලගෙදර යන ප්‍රධාන වාණිජ නගර යා කෙරෙනු ඇත. උතුරු අධිවේගී මාර්ග කොටසෙහි එ‍ඬේරමුල්ල (පද්ධති අන්තර් හුවමාරුව), ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල, රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, පොතුහැර (පද්ධති හුවමාරුව) යන ස්ථානවලදී අන්තර් හුවමාරු, ඉදි කෙරෙනු ඇත. ඈ‍ඳන අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු රඹුක්කනදී සහ ගලගෙදර ප්‍රදේශවලදී ඉදි කෙරෙනු ඇත. පද්ධති අන්තර් හුවමාරුම මඟින් අධිවේගී මාර්ග අතර පමණක් සම්බන්ධතාව ඇති කෙරේ. මීට අදාළ ශක්‍යතා අධ්‍යයනයන් හා මූලික සැලසුම් දැනටමත් නිම කර ඇති අතර ඉහත සඳහන් කොටස් සඳහා යෝජිත අධිවේගී මාර්ග කොරිඩෝවන් දැනටමත් හඳුනා ගෙන ඇත. පාරිසරික බලපෑම් තක්සේරු කිරීම සහ ඉඩම් අත් කරගැනීමේ කටයුතු සිදුවෙමින් පවතියි. ඉදි කිරීම් කටයුතු ක්‍රියාවට නැංවීම සඳහා අධිවේගී මාර්ගයේ ඉහත සඳහන් කොටස්, පහත සඳහන් පරිදි, තනි කොන්ත්‍රාත් පැකේජ අට (08) කට බෙදා ඇත.

කොන්ත්‍රාත්
පැකේජ අංකය.
මාර්ග කොටසේ නම දිග
(කි.මී)
පැකේජ අංක 01 එ‍ඬේරමුල්ල - වේයන්ගොඩ 28.0
පැකේජ අංක 02 වේයන්ගොඩ - මීරිගම 16.0
පැකේජ අංක 03 මීරිගම - නාකලගමුව 18.0
පැකේජ අංක 04 නාකලගමුව - අලකොළදෙණිය 20.1
පැකේජ අංක 05 අලකොළදෙණිය - මැද්දේකැටිය 16.9
පැකේජ අංක 06 මැද්දේකැටිය - ගලේවෙල 19.0
පැකේජ අංක 07 පොතුහැර - රඹුක්කන 17.5
පැකේජ අංක 08 රඹුක්කන - ගලගෙදර 18.0



ඊ‍ට අදාළ කටයුතු කරගෙන යාම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.