• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර ලීමේ ක්‍රමවේදයක්/ පද්ධතියක් තුළින් කොළඹ නගරාශ්‍රිතව ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට සංක්‍රාමණය සහ බැහැර ලීම - කොළඹ අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය

- කොළඹ අගනගරය ආශ්‍රිත කලාපයේ එක්රැස් වන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කර ලීම සඳහා පාරිසරික වශයෙන් පිළිගත හැකි සහ ආර්ථිකමය වශයෙන් ක්‍රියාවට නැංවිය හැකි විසඳුමක් පිළිබඳව රජය අවධානය යොමු කරමින් සිටියි. කොළඹ නගරය තුළ දැනට එක්රැස් කෙරෙන දෛනික නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 700ක් පමණ වන අතර කොළඹ අගනගර කලාපයේ නාගරීකරණය වූ අනෙකුත් පළාත් පාලන බල ප්‍රදේශයන් තුළ එසේ එක්රැස් වන නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයද සමඟ ගත් කල එම අගය දිනකට මෙ.ටො. 1,200ක් පමණ වේ. පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කොට මීතොටමුල්ලේ සංක්‍රාමණ මධ්‍යස්ථානයක සිට ඝන අපද්‍රව්‍ය දුම්රිය මඟින් ප්‍රවාහනය කිරීමට යෝජිතය. යෝජිත සනීපාරක්ෂක කසළ රඳවනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදි කෙරෙනු ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය මාර්ග පද්ධතියේ ඉදි කිරීම් සැලසුම් දැනටමත් නිම කර ඇති අතර, විවෘත දුම්රිය ගැල් (වැගන්) සහ දුම්රිය එන්ජින් සඳහා අදාළ පිරිවිතරයන්ද සකස් කර ඇත. මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇ.එ.ජ. ඩොලර් මිලියන 107 කි (ශ්‍රී ලංකා රුපියල් මිලියන 14,017කි). මේ පිළිබඳව ඉදිරි කටයුතු කටයුතු කර ගෙන යාම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.