• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නව පනත් කෙටුම්පත

- පරමාණුක ශක්ති අධිකාරිය ස්ථාපනය කිරීම සඳහා සහ එහි බලතල හා කාර්යයන් පැවරීම පිළිබඳ විධිවිධාන දැනට සපයා දී ඇත්තේ 1969 අංක 16 දරන පරමාණුක ශක්ති අධිකාරී පනත මඟිනි. 1969 සිට මේ දක්වා පරමාණුක ශක්ති භාවිතය හා අදාළ වන නීතිරීතිවල සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් සිදුව ඇති අතර එම පනතට නව විධිවිධාන කිහිපයක් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති බව නිරීක්ෂණය කර ඇත. ශ්‍රී ලංකාවේ අයනීකාරක විකිරණ සහ විකිරණශීලී ප්‍රභවයන්ගේ හානිකර බලපෑම්වලින් පුද්ගලයින්, සමාජය සහ පරිසරය ආරක්ෂා කරගැනීම ඇතුළත්ව ජාතික සංවර්ධනය සඳහා සෞඛ්‍ය, කර්මාන්ත, පරිසර හා කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය ප්‍රතිලාභී සහ සාමකාමී අයුරින් යොදාගැනීම සඳහා සිදු කළ යුතු අවශ්‍ය සියලු කරුණු මෙම පනත් කෙටුම්පත මඟින් දක්වා ඇති අතර ශ්‍රී ලංකාව සියලු න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සාමකාමී කාර්යයන් සඳහාම පමණක් සිදු කෙරෙන බවත් න්‍යෂ්ටික අවි හෝ වෙනත් න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය නිපදවීම හෝ අත් කර ගැනීම තහනම් කරන බවත් නිශ්චිතව ප්‍රකාශ කරයි. මෙම පනත් කෙටුම්පත මඟින් “ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලය” සහ “ශ්‍රී ලංකා පරමාණුක නියාමන සභාව” යනුවෙන් නව ආයතන දෙකක් (02) පිහිටුවීමටද විධිවිධාන සලස්වයි. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය, ගරු පාඨලී චම්පික මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ඉහත සඳහන් පනත් කෙටුම්පත, ප්‍රථම කොට, සිය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමු කිරීමට අනුමැතිය ලබා දෙන ලදී.