• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත

- මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ඉහත පනත් කෙටුම්පත, ප්‍රථම කොට සිය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අනුකාරක සභාව වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. මෙම පනත් කෙටුම්පත මඟින් පහත සඳහන් කාර්යයන් ඉටු කළ හැකි වන සේ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සඳහා සංශෝධන හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

* “ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය” යන නාමය “රක්ෂණ නියාමන කොමිෂන් සභාව” යනුවෙන් වෙනස් කිරීම;

* සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයක් හෝ දීර්ඝකාලීන රක්ෂණ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් නිශ්චය කිරීම;

* දේශීය පාලිත රක්ෂණ සමාගමක කොටස්වලින් අවම වශයෙන් 85% ක් ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටියා වූ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත‍ කර ඇති හා එම ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය, ව්‍යාපාර වස්තු විනිමය ස්ථාන පිළිබඳ ලෝක සම්මේලනයේ සාමාජිකයකු වූද විදේශීය පාලක රක්ෂණ සමාගමක් විසින් දරනු ලබන්නේ නම් එම දේශීය පාලිත රක්ෂණ සමාගම 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලබා දෙන ලද ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත කිරීමෙන් නිදහස් කිරීම; සහ

* යම් රක්ෂණ නියෝජිතයකුට එක් සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයක් සහ එක් දීර්ඝකාලීන රක්ෂණ ව්‍යාපාරයක් සඳහා සේවය කිරීමට ඉඩ සැලසීම.