• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කන්තලේ, හිඟුරාන, සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා සංවර්ධනය කිරීම

- 2020 වන විට රටෙහි වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් 40% දක්වා දේශීය නිෂ්පාදන වැඩි කිරීමේ අරමුණින් ඉහත සීනි කර්මාන්තශාලා හතර (04) පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශ පිළිබඳ සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය, ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. මෙම යෝජනාවල ඇතැම් වැදගත් ලක්ෂණ පහත පරිදි වේ:

* කන්‍තලේ, හිඟුරාන, සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලාවලට අයත් හෙක්ටයාර් 27,567ක ඉඩම්, ස්කන්ධ ප්‍රාග්ධනය වැඩි කිරීමෙන් ඉහත කර්මාන්තශාලා හතර (04) සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වනු පිණිස රජයට 100%ක අයිතිය ඇති සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගමට අවුරුදු 99 ක කාලයකට බදු දෙනු ලැබේ;

* චෙක් ජනරජයේ සහාය ඇතිව කන්තලේ සීනි කර්මාන්තශාලාව සංවර්ධනය කොට නවීකරණය කරනු ලැබේ; සහ

* ගොවීන්ගෙන් උක් මිල දී ගැනීම සඳහා ඉදිරි ගිවිසුම්වලට එළැඹීම මඟින් උක් වගා කිරීම සඳහා එකී ගොවීන්ට ඉඩම් කැබලි ලබා දෙනු ලැබේ; දැනටමත් උක් වගාවේ නිරත ගොවීන්ට සහ අදාළ ඉඩම් පිහිටි දිස්ත්‍රික්වල පදිංචිකරුවන් වන ගොවීන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

ඉහත වාර්තාවේ ඇතුළත් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.