• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවා ලීම සඳහා යෝජිත කඩිනම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

- දිවයිනේ දැනට පවත්නා දැඩි නියං තත්ත්වය හේතු කොට ගෙන පානීය ජලය සහ වගා කටයුතු සඳහා වාරි ජලය හිඟකම නිසා අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, පුත්තලම, මන්නාරම, වවුනියාව, මොනරාගල හා අම්පාර යන දිස්ත්‍රික්කවල සහ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල පවුල් 111,459 ක් පීඩාවට පත් වී ඇත. එබැවින් නියඟයෙන් පීඩාවට පත්ව ඇති ‍ දිස්ත්‍රික්කවල පහත සඳහන් පියවර ගැනීමට අපේක්ෂා කෙරේ:

* එකී දිස්ත්‍රික්කවල වැව්වල සහ ජලාශවල ජලය රැස් කරගැනීමේ ධාරිතාව තවදුරටත් වැඩි කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාවට නැංවීම;

* පීඩාවට පත් පවුල්වලට පානීය ජලය බෙදා හැරීම සඳහා බවුසර් 37 ක් යොදවා ගැනීම;

* තෝරාගත් වගා ළිං 600 ක් වගා ප්‍රතිසංස්කරණය කිරීම; සහ

* මසකට රු. 6,000/-ක් ගෙවීමේ පදනම මත පීඩාවට පත් පවුල්වල ගොවීන්ගේ සහභාගීත්වය ඇතිව කුඩා වාරිමාර්ග පද්ධති, ඇළ මාර්ග සහ ග්‍රාමීය මංමාවත් ප්‍රතිසංස්කරණය කර නඩත්තු කර ගෙන යාම සඳහා ‘වැඩ සඳහා මුදල්’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.

අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් මෙයට අදාළ කටයුතු කර ගෙන යාම සඳහා සහ එම කාර්යය වෙනුවෙන් රුපියල් මිලියන 1,304.4 ක ඇස්තමේන්තුගත මුළු මුදලක් ලබා දීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.