• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිගරු ජනාධිපතිතුමා ශාන්ත කෲස්හි පැවති 77 කණ්ඩායමේ සමුළුවට සහභාගි වීම සඳහා කළ සංචාරය හා බොලීවියාවේ නිරත වූ නිල සංචාරය

- එක්සත් ජාතීන්ගේ සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම අන්තර් ආණ්ඩු සංවිධානය වන 77 කණ්ඩායම (G77) සාමාජික රටවල් 133 කින් සමන්විත වන අතර එහි 50 වෙනි සංවත්සර අනුස්මරණ සමුළුව සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් බොලීවියාවේ රාජ්‍ය සංචාරයක නිරත වූහ. සමුළුව අමතමින් අතිගරු ජනාධිපතිතුමා පවසා සිටියේ 77 කණ්ඩායමේ ආරම්භක දැක්ම වන එකමුතුකම, සහයෝගිතාව සහ සංවර්ධනය වර්තමානයටද අදාළ වන බවත්, වියානා පාර්ශ්වයේ වර්තමාන සභාපතිත්වය උසුලන ශ්‍රී ලංකාව එකී සන්දර්භය තුළ මෙම කණ්ඩායම සමඟ සමීපව කටයුතු කරන බවත්ය. තවද සංවර්ධිත රටවල් එකඟ වූ පරිදි තම දළ ජාතික ආදායමෙන් 0.7% ක් සංවර්ධනය වෙමින් පවතින රටවලට යොමු කිරීම සිදු වූයේ නම් සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයකට දරිද්‍රතාවෙන් මිදී වඩා පිළිගත හැකි සංවර්ධන මට්ටමකට එළඹීම සාර්ථක කර ගත හැකිව තිබූ බව එතුමා පවසා සිටියේය. අතිගරු ජනාධිපතිතුමා විසින් කියුබාව, උරුගුවේ, ඉක්වටෝරියල් ගිනියාව යන රටවල ජනපතිවරුන් සමඟ සහ ගැබෝන්හි අගමැතිවරයා සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත. බොලීවීයාවේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව විසින් සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩිදියුණුව උදෙසා අතිගරු ජනාධිපතිතුමන්ගේ කැපවීම පිළිගැනීමට ලක් කරමින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා වෙත බොලීවියාවේ ඉහළම ගෞරව සම්මානය වන “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත මාසෙලෝ කුයිරෝගා සැන්ටා කෲස් පාර්ලිමේන්තු අභිධානය” පිරිනමන ලදී. මෙම ගෞරව සම්මානය විදේශීය රාජ්‍ය නායකයෙකු වෙත පිරිනැමුණු ප්‍රථම අවස්ථාව මෙයයි.