• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘කිතුලක වරුණ’ ප්‍රදර්ශනය හා වෙළඳ සල්පිල: 2014 අප්‍රේල් 01 වන දිනෙන් ඇරඹෙන කිතුල් ප්‍රවර්ධන හා පරිභෝජන සතිය ප්‍රකාශයට පත් කිරීම

- සෑම වසරකම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර, කිතුල් නිෂ්පාදන ජනප්‍රිය කරවීම සහ ප්‍රවර්ධනය කිරීම පිණිස ‘කිතුලක වරුණ’ ප්‍රදර්ශනය හා වෙළඳ සල්පිල පැවැත්වේ. ජාතික කිතුල් සංවර්ධන වැඩසටහන වනාහි කිතුල් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම, ඒ සඳහා සහාය වීම, එය ඉහළ නැංවීම සහ එහි විදේශ විනිමය ඉපැයීමේ හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මඟින් භාර ගෙන ඇති ප්‍රධාන සංවර්ධන කාර්යයකි. මෙම වැඩසටහන යටතේ සිදු කෙරුණු ක්‍රියාකාරකම්, 2011 වර්ෂයේදී රුපියල් මිලියන 26ක්ව පැවති කිතුල් පැණි සහ හකුරු අපනයන ආදායම 2012 වර්ෂයේදී රුපියල් මිලියන 58 දක්වාත් 2013 වර්ෂයේදී රුපියල් මිලියන 68 දක්වාත් ඉහළ නැංවීමට උපකාරි වී තිබේ. 2014 අප්‍රේල් 01 සිට 06 දක්වා වන අප්‍රේල් මස මුල් සතිය කිතුල් ප්‍රවර්ධන හා පරිභෝජන සතිය වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා සහ එකී කාර්යය සඳහා සැලසුම් කළ අදාළ වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, ගරු ඩග්ලස් දේවානන්දා ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.