• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 අයවැය මඟින් යෝජිත පරිදි අර්තාපල්, ලොකු ළූණු හා වියළි මිරිස් සඳහා සහතික මිල තීරණය කිරීම

- රජය මඟින් දේශීය කෘෂි නිෂ්පාදනය පුළුල් කිරීම සහ සාධාරණ මිලක් සහතික කිරීම හා අගය එකතු කළ කෘෂි නිෂ්පාදනයන්ට දේශීය හා විදේශීය තරඟකාරී වෙළඳ පොළ වෙත බාධා රහිත ප්‍රවේශයක් ඇති කිරීමට බලාපොරොත්තුවේ. ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා වගා බිම් ප්‍රමාණය වැඩි කිරීම, ඉහළ ඵලදායිතාවය ඇති බීජ භාවිතය, නවීන ජල කළමනාකරණ ක්‍රම භාවිතය, කාර්යක්ෂම ගොවිපළ තාක්ෂණ ක්‍රම හඳුන්වාදීම, ප්‍රවාහනයේදී අපතේයාම අඩු කිරීම හා නවීන ගබඩා පහසුකම් ඇති කිරීමට යෝජිතය. වසර 2015 වන විට අර්තාපල්, ලොකු ළූණු හා වියළි මිරිස් නිෂ්පාදනයෙන් 50%ක ස්වයංපෝෂිත භාවයක් ඇති කිරීමට ද, වසර 2020 වන විට අතිරික්ත නිෂ්පාදනයන් අපනයනය කිරීමට ද, යෝජනා කෙරේ. පහත සඳහන් ‍පරිදි මෙම ආහාර වර්ග සඳහා සහතික මිලක් හඳුන්වාදීම සඳහා සහ ඊට අදාළ කටයුතු කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* අර්තාපල් කිලෝ ග්‍රෑමයක සහතික නිෂ්පාදන මිල - රු. 80/-
* ලොකු ළූණු කිලෝ ග්‍රෑමයක සහතික නිෂ්පාදන මිල - රු. 60/-
* වියළි මිරිස් කිලෝ ග්‍රෑමයක සහතික නිෂ්පාදන මිල - රු. 350/-
* බීජ අර්තාපල් කිලෝ ග්‍රෑමයක සහතික නිෂ්පාදන මිල - රු. 160/-
* බීජ ලොකු ළූණු කිලෝ ග්‍රෑමයක සහතික නිෂ්පාදන මිල - රු. 12,000/-