• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගෘහස්ථ සේවකයන් බඳවා ගැනීම පිළිබඳව සවුදි අරාබි රාජධානියේ කම්කරු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය අතර යෝජිත ගිවිසුම

- දේශීය විගමනික ගෘහස්ථ සේවකයින්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ ඔවුන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම පිණිස රාජ්‍යයන් දෙක අතර එළඹීමට නියමිත ගිවිසුම් කෙටුම්පතට සෞදි අරාබි රාජධානියේ රජය සිය එකඟතාව පළ කර තිබේ. දැනට ශ්‍රී ලාංකිකයින් 50,00,000ක් පමණ සෞදි අරාබි රාජධානියේ රැකියාවන්හි නියුතු අතර, ඒ අතුරින් 60%ක් කාන්තා ගෘහ සේවිකාවන් වේ. සෞදි අරාබි රාජධානිය ශ්‍රම විගමනය පිළිබඳ ගිවිසුමකට එළඹ ඇත්තේ පිලිපීනය සමඟ පමණක් වන අතර, එවන් දෙවැන්න 2014 ජනවාරි මස 03 වැනි දින ඉන්දියාව සමඟ එළඹීමට නියමිත විය. ඔවුන්ගේ තෙවැන්න වන්නේ ශ්‍රී ලංකාව සමඟ එළඹෙන මෙම ගිවිසුම වන අතර, එය සෞදි අරාබිය සහ පිලිපීන රජය අතර අත්සන් තබා ඇති ගිවිසුමට බෙහෙවින් සමාන වේ. එම ගිවිසුමේ වැදගත් ලක්ෂණ වන්නේ:

* සේවා යෝජකයා විසින් ගෘහස්ථ සේවකයා සඳහා බැංකු ගිණුමක් විවෘත කර මාසික වැටුප එහි තැන්පත් කළ යුතුය. බැංකු ගිණුමේ පාස් පොත ගෘහස්ථ සේවකයා භාරයේ තිබිය යුතුය;

* වසර දෙකක (02) සේවා කාලයක් අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දින තිහක (30) පූර්ණ වැටුප් සහිත නිවාඩුවක් හිමි වේ. ගෘහස්ථ සේවකයා එම සේවා යෝජකයා වෙතම ආපසු යන්නේ නම්, ඔහුට අතිරේක මාසයක වැටුප ගෙවිය යුතුය;

* විදේශීය ගමන් බලපත්‍රය ගෘහස්ථ සේවකයා භාරයේ තිබිය යුතුය;

* බඳවා ගැනීමේදී ගෘහස්ථ සේවකයා කිසිදු වියදමක් දැරිය යුතු නොවේ.

සෞදි අරාබි රාජධානියේ රජය සමඟ ඉහත සඳහන් ගිවිසුමට එළඹීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.