• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික අධිවේගී මාර්ග අධිකාරිය ස්ථාපිත කිරීම

- අධිවේගී මාර්ගයන් හා බැඳුණු කටයුතු දැනට හසුරුවනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි. පහත දැක්වෙන දැනටමත් ආරම්භ කොට ඇති අධිවේගී මාර්ගවල මෙහෙයුම් හා නඩත්තු කටයුතු පරිපාලනය හා කළමනාකරණය සහ පහත යෝජිත නව ව්‍යාපෘති හැකි ඉක්මනින් සැලසුම් කිරීම, ඉදි කිරීම සහ ඊට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා ජාතික අධිවේගී මාර්ග අධිකාරියක් ස්ථාපිත කිරීමට මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* දැනටමත් මෙහෙයුම් කටයුතු අරඹා ඇති කොට්ටාව සිට පින්නදූව දක්වා වූ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය;

* 2014 මාර්තු මස දී විවෘත කිරීමට නියමිත කොට්ටාව සිට කඩුවෙල දක්වා වන පිටත වටරවුම් මහා මාර්ගයේ කොටසක් සහ පින්නදූව සිට මාතර දක්වා වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක්; සහ

* එ‍ඬේරමුල්ල සිට දඹුල්ල හා මහනුවර දක්වා උතුරු අධිවේගී මාර්ගය, මාතර සිට හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම සහ ඉංගිරිය සිට රත්නපුර දක්වා වන අධිවේගී මාර්ගයක් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතිවලට අදාළ පියවර ආරම්භ කොට ඇත.