• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික රැස්වීමේදී ඉදිරිපත් කිරීම පිණිස ශ්‍රී ලංකාව තුළ පවතින හඳුනාගත් ආයෝජන ව්‍යාපෘති
- 2013 නොවැම්බර් මස 15 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාර සභාව ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික රැස්වීම 2013 නොවැම්බර් මස 12, 13 සහ 14 යන දින වල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික රැස්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රයන්හි පවතින පුළුල් ව්‍යාපාරික අවස්ථා පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ප්‍රාග්ධන හැකියාව ඇති ආයෝජකයන් දැනුවත් කිරීම තුළින් ශ්‍රී ලංකාව වෙත සෘජු විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාර සභාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා එක්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික රැස්වීම අතරතුර විදේශීය ප්‍රාග්ධන හැකියාව ඇති ආයෝජකයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා හඳුනාගත් ආයෝජන අවස්ථා පිළිබඳ ලැයිස්තුවක් සකස් කර ඇත. එසේ හඳුනාගත් ආයෝජන ව්‍යාපෘති කාණ්ඩ කිහිපයක් පහත දැක්වේ:

* සංචාරක හා විනෝදාශ්වාද කටයුතු;
* උසස් අධ්‍යාපන හා පුහුණු කිරීම්;
* කෘෂිකර්ම හා ධීවර කටයුතු;
* සෞඛ්‍යය;
* නිෂ්පාදන හා කෘෂි සැකසුම්;
* ගුවන් සේවා ඇතුළු යටිතල පහසුකම්.
මෙම ආයෝජන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.