• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කලාප අධ්‍යාපන කාර්යාලවලදී ගුරුවරුන්ට මුහුණු පෑමට සිදුවන දුෂ්කරතා
- ගුරුවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු, සේවයේ ස්ථිර කිරීම, වැටුප් වර්ධක, ණය පහසුකම්, විශ්‍රාම වැටුප් හා නිවාඩු ආදී කරුණු විශේෂ කොට, ගුරුවරුන්ගේ ආයතනික කටයුතු පිළිබඳ අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලවලදී ඔවුන් නොයෙක් අපහසුතාවන්ට පත්වන බව තමන්ට දැන ගැනීමට ලැබී ඇතැයි අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්‍ වෙත සහ මෙම රැස්වීමට ආරාධිතයින් වශයෙන් සහභාගිවූ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් වෙත දැනුම් දෙන ලදී. මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, කලාප අධ්‍යාපන කාර්යාලවල එකී රාජකාරි කටයුතු විධිමත් කිරීමටත්, ගුරුවරුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කැපවූ කාර්ය මණ්ඩලයක් සහිත ගුරුවරුන් සඳහා සුහදශීලී ආයතන බවට කලාප අධ්‍යාපන කාර්යාල පත්කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් වෙත උපදෙස් දෙන ලදී.