• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 68වැනි සැසිවාරයට සහභාගි වීම පිණිස, 2013 සැප්තැම්බර් මාසයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය වෙත සිදු කෙරුණු සංචාරය
- අතිගරු ජනාධිපතිතුමාගේ ඉහත සංචාරය පිළිබඳ වාර්තාව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. අතිගරු ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා පවත්වන ලද දේශනයේ සඳහන් කෙරුණු අනෙකුත් කරුණු අතර, සියලු අන්තර්ජාතික සභඳතාවයන්හි පදනම වන සෑම රටකටම සමානව සැලකීමේ මූලධර්මය ආරක්ෂා කරගැනීමේ සහ ඊට අනුකූලව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී. 2004 වසරේදී සිදු වූ සුනාමි ව්‍යසනය, ගෝලීය මූල්‍ය අවපාතය සහ දිගුකලක් පුරා පැවති ගැටුම්කාරී වාතාවරණය හමුවේ පවා සමාජ හා ආර්ථික ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ප්‍රශංසනීය ජයග්‍රහණ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා විසින් මහ මණ්ඩලය වෙත කරුණු පැහැදිලි කරන ලදී. ජාත්‍යන්තර නිපුණතා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසද එතුමා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ආසන්න වශයෙන් වසර 25කට පමණ පසුව උතුරු පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබූ බව පැවසූ අතිගරු ජනාධිපතිතුමා, දේශපාලනමය වශයෙන් බලගැන්වීම සහ සමාජ ඒකාබද්ධතාව ගොඩ නංවා ගැනීම කෙරෙහි එහි ඇති වැදගත්කම පෙන්වා දෙමින් අවධාරණය කර සිටියේ, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම කාර්යයන් සඳහා සහ‍යෝගය ලබා දීමත්, රටේ සමස්ත ජනතාවගේ සුබසිද්ධිය පිණිස එකී කාර්යයන් සාර්ථක කරගැනීම තහවුරු කිරීමත් ජාත්‍යන්තර ප්‍රජාවගේ පැහැදිලි වගකීම වන බවයි. සිය දේශනය අවසන් කරමින්, එක්සත් ජාතීන්ගේ කාර්ය පටිපාටි නිරන්තරයෙන් අනුගමනය කරමින් ඒ සම්බන්ධයෙන් විද්‍යමාන ප්‍රගතියක් අත් කර ගෙන තිබියදීත් ශ්‍රී ලංකාව පිළිබඳව අනවශ්‍ය අවධානයක් යොමු කර තිබීමත් බහු පාර්ශ්වීය රාමුව තුළ අසමාන අයුරින් සැලකීමත් පිළිබඳව සඳහන් කළ අතිගරු ජනාධිපතිතුමා මෙකී නිර්දය ක්‍රියාමාර්ගවල පදනම කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය. රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ එක්සත් ජාතීන්ගේ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරුන් සමඟ ද්විපාර්ශ්වික හමු පැවැත්වීමටද අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම අවස්ථාව උපයෝගී කර ගන්නා ලදී.