• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අවිධිමත් ලෙස භාවිත කිරීම සහ උතුරු මැද පළාතේ පවත්නා වකුගඩු ආශ්‍රිත රෝගාබාධ
- භෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින්, රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය රටට හඳුන්වාදෙනු ලැබූ අතර, ඒවා භාවිතය තුළින් ස්වයංපෝෂිතභාවය ආසන්නයටම පැමිණීමට හැකි වුව ද, ජෛව විවිධත්වයට හානිවීම, රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ජලය හා පස අපවිත්‍ර වීම ආදී අහිතකර බලපෑම්වලට මුහුණ දීමට රටට සිදුව ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස උතුරුමැද පළාතේ වකුගඩු ආශ්‍රිත රෝගාබාධ විශේෂ කොට, විවිධ සෞඛ්‍ය ගැටලු පැනනැඟී ඇති බවත් නිරීක්ෂණය කර ඇත. ග්‍රාමීය කටයුතු පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය, ගරු අතාවුද සෙනෙවිරත්න මැතිතුමාගේ සභාපතිත්වයෙන් සහ අමාත්‍යවරුන් 13 දෙනෙකුගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන ලදී. එකී අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ කාර්යයන් සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ විද්‍යාඥයන් 58 දෙනෙක් සම්බන්ධ වූහ. කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගන්නා ලදී. දිගුකාලීන ක්‍රියාමාර්ග 19ක් සහ කෙටිකාලීන ක්‍රියාමාර්ග 10ක් පිළිබඳ නිර්දේශ අදාළ වාර්තාවෙහි ඇතුළත් වේ. මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතුමාගේ; සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමතිතුමාගේ නිරීක්ෂණ පිළිබඳව නිසි සැලකිල්ලක් යොමු කරමින් මෙකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් සහ නිලධාරි කමිටුවක් පත් කරන ලදී.