• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් සීෂෙල්ස් ජනරජයේ වික්ටෝරියාහි ස්ථාපනය කිරීම
- සීෂෙල්ස් ජනරජය අප්‍රිකානු කලාපයේ ඇති ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී රටවල් අතරින් එකකි. සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1988 දී තානාපති මට්ටමෙන් ඇති කෙරුණු අතර, දැනට ප්‍රිටෝරියාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සීෂෙල්ස් සඳහාද සමගාමීව අක්තගන්වා ඇත. මෙම වර්ෂයේ ජූනි මස අගදී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා සීෂෙල්ස්හි නිල සංචාරයක නියැළුණු අතර, එම නිල සංචාරයේදී නායක දෙපළ දෙරට අතර ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කිරීම සඳහා වන දැඩි කැමැත්ත පළ කර සිටියහ. එම නිල සංචාරය මඟින් ලැබුණු සමහර ප්‍රතිඵල නම්:

* ශ්‍රී ලංකන් ගුවන්‍ සේවය සහ මිහින් ලංකා ගුවන් සේවය දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම;

* ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟත්වය ඇතිව ලංකා බැංකුව විසින්, සිය ශාඛාවක් සීෂෙල්ස් හි පිහිටුවීම;

* ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිය ශාඛාවක් සීෂෙල්ස් හි පිහිටුවීම; සහ

* ශ්‍රී ලංකාවේ නවලෝක සමූහ ව්‍යාපාරය විසින් ආරෝග්‍ය ශාලාවක් සීෂෙල්ස් හි පිහිටුවීම පිළිබඳව සලකා බැලීම.

සීෂෙල්ස්හි වික්ටෝරියා නුවර නේවාසික රාජතාන්ත්‍රික දූත මණ්ඩල කාර්යාලයක් පිහිටුවීමට සහ ඊට සම්බන්ධ ඉදිරි කටයුතු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.