• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
“'ඩයිසයිනමයිඩ්' (DCD) රසායනිකය මඟින් දූෂ්‍ය වූ කිරිපිටි හා 'ක්ලොස්ට්‍රිඩියුම් බොටුයුලිනම්' බැක්ටීරියාව මඟින් දුෂ්‍ය වූ වේ ප්‍රෝටීන් (Whey protein) සාන්ද්‍රණ සම්බන්ධයෙන් මෑතකාලීනව වාර්තා වූ ගැටලු
මෙම කරුණ පරීක්ෂා කර බලා, අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් සැපයීම සඳහා 2013 08 15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මානව සම්පත් පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය ගරු ඩී.ඊ.ඩබ්ලිව්.ගුණසේකර මැතිතුමාගේ සභාපතිත්වයෙන් සහ තවත් අමාත්‍යවරුන් හය (06) දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. ඒ අනුව මානව සම්පත් පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය ගරු ඩී.ඊ.ඩබ්ලිව්.ගුණසේකර මැතිතුමා විසින් එම කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරන ලද අතර, එම වාර්තාවේ ඇතුළත් පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී:

(අ) ඇතිවෙමින් පවතින අවශ්‍යතාවන්ට මුහුණ දීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) ඇතුළු දේශීය විද්‍යාගාරවල ධාරිතාව ඉහළ නැංවීම;
(ආ) යහපත් නිෂ්පාදන පරිචයන් තහවුරු කිරීම සඳහා ප්‍රධාන ආහාර අධිකාරිය යටතේ විශේෂඥයින් විසින් ශ්‍රී ලංකාවේ සංකීර්ණ හා දියුණු ආහාර නිෂ්පාදන යන්ත්‍රාගාර පරීක්ෂා කිරීම;
(ඇ) මව්කිරි ලබාදීම සහ දේශීය වශයෙන් නිෂ්පාදිත දියර කිරි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා, අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේද සහභාගීත්වය සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දීපව්‍යාප්ත වැඩසටහනක් දියත් කිරීම;
(ඈ) කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පහසුකම් අතින් ප්‍රධාන ආහාර බලධරයාගේ කාර්යාලයේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කිරීම සහ දැනට පවතින හා පැන නඟිමින් පවතින ආහාර සුරක්ෂිතතා ගැටලු ආමන්ත්‍රණය කළ හැකි පරිදි ආහාර පනත සංශෝධනය කිරීම;
(ඉ) පහත සඳහන් කරුණු පිළිබඳ දක්වමින් සවිස්තර ප්‍රවෘත්ති පත්‍ර දැන්වීමක් සරල භාෂාවෙන් පළ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට නියම කිරීම:
(i) ප්‍රශ්නයේ පසුබිම; සහ
(ii) ඩීසීඩී සහ ක්ලොස්ට්‍රිඩියුම් බොටියුලිනම් බැක්ටීරියාව රහිත පරිභෝජනය සඳහා සුරක්ෂිත නිෂ්පාදන හඳුනාගැනීම සඳහා ලේබල් කිරීමේ ක්‍රමයක්.
(ඊ) ඉහත සඳහන් කරන ලද ප්‍රසිද්ධ නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට පෙර නව ලේබල් ක්‍රමය හඳුන්වා දීමට වගබලා ගැනීම;
(උ) කාර්මික තාක්ෂණ ආයතනයට Liquid Chromatograph Mass Spectrometer (LC/MS/MS) උපකරණයක් මිල දී ගැනීම;
(ඌ) ඩීසීඩී අඩංගු බවට සැක කෙරෙන ආනයනික කිරි නිෂ්පාදන වෙළඳපොළෙන් ඉවත් කිරීමට ප්‍රධාන ආහාර බලධරයාට හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියම කිරීම; සහ
(එ) මෙවැනි ස්වභාවයේ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කාර්මික තාක්ෂණ ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සමීප සබඳතාවකින් කටයුතු කිරීම සහතික කිරීම.

මෙවැනි ආහාර වර්ග රේගුවෙන් නිෂ්කාෂණය කිරීමට පෙර ආහාරවල සුරක්ෂිත බව පිළිබඳ සෞඛ්‍ය උවදුරු පරීක්ෂාවන් සිදු කිරීම සඳහා ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල, ශ්‍රී ලංකා රේගුව, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය මඟින් ක්‍රමවේදයක් හඳුන්වා දීම.