• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ටැන්සානියාවේ නිරතවූ රාජ්‍ය සංචාරය සහ ඩාර්එස් සලාම් හිදී පැවති විශිෂ්ට පාර්ශ්වකාරීත්ව ගෝලීය සංවාදය - 2013 සඳහා සහභාගිත්වය
- අප්‍රිකානු රටවල් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව, මෑතකදී අතිගරු ජනාධිපතිතුමා ටැන්සානියාව වෙත නිල සංචාරයක් සිදු කළ අතර, එහිදී ඩාර්එස් සලාම් නුවර පැවති විශිෂ්ට පාර්ශ්වකාරීත්ව ගෝලීය සංවාදය - 2013 සඳහා ද සහභාගි විය. අප්‍රිකානු රටවල් සමඟ පවතින ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍ර අබිබවා, දැනුම හුවමාරුව, නිපුණතා සංවර්ධනය හා තාක්ෂණ හුවමාරු ආදී ක්ෂේත්‍ර කරා විහිද ගොස් ඇත. දෙරටේ අගනගරවල නේවාසික රාජතාන්ත්‍රික දූත මණ්ඩල කාර්යාල පිහිටුවීම පිළිබඳව සිය ඉමහත් අභිලාශය දෙරටේ රාජ්‍ය නායකයන් විසින් පළ කරන ලදී. සංචාරක, ආර්ථික සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව හා සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම්වලට දෙරටේ රාජ්‍ය නායකයන් අභිමුවෙහි අත්සන් තබන ලදී. විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා ඉහත තොරතුරු ඉදිරිපත් කරන ලද අතර, එකී අත්සන් තබන ලද ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය දෙන ලදී.