• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රර මූල්‍ය ආයතනයන් නියාමනය හා අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදය

- යෝජිත නියාමන හා අධීක්ෂණ රාමුව ජනතාවගේ තැන්පතු භාර ගන්නා ක්ෂුද්‍රමූල්‍ය ආයතන සඳහා අදාළ වන අතර, එය පහත සඳහන් පරිදි ස්තර තුනකින් සමන්විත වේ:

 *     I වන ස්තරය - විශාල ක්ෂුද්‍රමූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ සෘජු අධීක්ෂණයට හා පරීක්ෂණයට භාජනය වනු ඇත;

 *     II වන ස්තරය - කුඩා ක්ෂුද්‍රමූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලත් විගණන සමාගම්වල අධීක්ෂණයට හා පරීක්ෂණයට භාජනය වනු ඇත;

 *     III වන ස්තරය - සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්වරයා, දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ දිවිනැඟුම ප්‍රජා මූල බැංකු හා දිවි නැඟුම ප්‍රජා මූල බැංකු සමිති කළමනාකරණ මණ්ඩලය, ගොවිජන  සංවර්ධන  කොමසාරිස්       ජනරාල්වරයා යන අධිකාරින් යටතට ගැනෙන ක්ෂුද්‍රමූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයෙන් නිදහස් වන අතර, අදාළ ප්‍රඥප්ති මඟින් දැනටමත් බලාත්මක කර ඇති පරිදි අදාළ අධිකාරින් විසින් එකී නියාමනය හා අධීක්ෂණය සිදු කෙරෙනු ඇත;

 *     යෝජිත පනත බලාත්මක කිරීමෙන් පසුව බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය ආයතන සහ පනතේ විධිවිධාන වලින් නිදහස් කර ඇති තැනැත්තෙකු හැර වෙනත් කිසිම තැනැත්තෙකුට ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නියුක්ත විය නොහැකිය;

 *     1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍රලාභී බැංකු, 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිශ්චය කරනු ලබන පරිදි සාමාජයීය අරමුණු සඳහා පිහිටුවා ඇති ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරයන්හි නියුක්ත ප්‍රජාමූල සංවිධාන යෝජිත පනතේ විධිවිධානවලින් නිදහස් කර ඇත; සහ

 *     1972 අංක 5 දරන සමූපකාර නීතිය හා පළාත් සභා ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි සමුපකාර සමිති, 2,000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත යටතේ පිහිටුවා ඇති ආයතන සහ 2013 අංක 01 දරන දිවිනැඟුම පනත යටතේ පිහිටුවා ඇති ආයතන යෝජිත පනතේ විධිවිධාන අදාළ වීමෙන් නිදහස් කර ඇත.

 අදාළ පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.