• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය
සමස්ත සංක්‍රමණික ක්‍රියාවලිය තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ මනා සෞඛ්‍යය තහවුරු කිරීමේ වගකීම දරන අදාළ සියලු අංශ සහ ආයතන ඒ සඳහා යොමු කරවීම ශ්‍රී ලංකා ජාතික සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තියෙහි අරමුණ වන්නේය. රටින් බැහැරවන, සංක්‍රමණිකයන්ද, එලෙස බැහැර වන සංක්‍රමණිකයන්ගේ පවුල්වල මෙරට සිටින සාමාජිකයන්ද හා රට තුළට පැමිණෙන සංක්‍රමණිකයන් හා රටතුළ අභ්‍යන්තර වශයෙන් සංක්‍රමණය වන පුද්ගලයන්ද මෙම ප්‍රතිපත්තිය මඟින් සලකා බැලෙන ප්‍රමුඛ කණ්ඩායම් වන බව ශ්‍රී ලංකාව ඉහත කී ප්‍රතිපත්තිය මඟින් පිළිගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම ප්‍රතිපත්තියෙහි විශේෂාංග කිහිපයක් පහත දැක්වේ. රටින් බැහැරවන සංක්‍රමණිකයන් සහ මෙරට තුළ ඉතිරිවන ඔවු‍න්ගේ පවුල්: * නිදහස, සමානාත්මතාව, ආරක්ෂාව සහ මානව අභිමානය සුරැකෙන වාතාවරණයක් තුළ ගරු අභිමානවත් හා ඵලදායී රැකියාවක නියුක්ත වීමේ ඔවුන් සතු අයිතිය සුරැකීම මඟින් සියලු සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය හා සමාජ සුබ සිද්ධිය තහවුරු කිරීම; * ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සේවයෙහි යොදවන රටවල් සමඟ ද්වී පාර්ශ්වීය ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම්වලට ඇතුළත් වීම තුළින් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවා නියුක්තිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම; සහ * තනි මාපිය පවුලක (මා පියන්ගෙන් එක් අයකු පමණක් සිටින පවුලක) එම මව හෝ පියා රැකියාව සඳහා විදේශගත වීමේදී එම පවුල්වල සුබසාධන අවශ්‍යතා සපුරාලීම පිණිස මනා සංවිධිත සැලසුමක් සකස් කොට ක්‍රියාත්මක කිරීම. අභ්‍යන්තර සංක්‍රමණිකයන්: * පහසුවෙන් බලපෑමට ලක්විය හැකි හැකි අභ්‍යන්තර සංක්‍රමණික ජනතාවගේ විශේෂිත පෝෂණ ගැටලු විසඳීම පිණිස ජාතික වැඩසටහනක් සැකසීම; සහ * පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සපයන්නන් සම්බන්ධ කරගනිමින්, අභ්‍යන්තර සංක්‍රමණික ජනතාව සඳහා මූලික සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය තහවුරු කිරීම. රට තුළට පැමිණෙන සංක්‍රමණිකයන්: * සංක්‍රමණික ක්‍රියාවලිය සංක්‍රමණිකයාගේ හෝ මෙරට ජනතාවගේ සෞඛ්‍යය කෙරෙහි හානියක් නොවන බව තහවුරු කිරීම; * සංක්‍රමණිකයාගෙන් ඇතිවිය හැකි බලපෑම හා ජාතික සෞඛ්‍ය හා සමාජ සේවාවන් කෙරෙහි රෝගාබාධ ආදිය මගින් වියහැකි අවදානම අඩු කිරීම පිණිස මහජන සෞඛ්‍ය ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගෙන පිළියම් යෙදීම; සහ * ඉහළ සෞඛ්‍ය ප්‍රමිතීන් සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම.