• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය නිලධාරීන් විසින් අත් කරගත යුතු රාජ්‍ය භාෂා ප්‍රවීණතාව පිළිබඳව කරුණු අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරී කමිටුවේ වාර්තාව
අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් විසින් රජයේ භාෂා ප්‍රතිපත්තියට අනුකූලව ද්විභාෂා ප්‍රවීණතාව (එනම් අවස්ථාවෝචිත පරිදි සිංහල හෝ දෙමළ භාෂා ප්‍රවීණතාව) අත්කර ගැනීමේදී රාජ්‍ය නිලධාරීන් විසින් මුහුණ පාන දුෂ්කරතාවන් පිළිබඳව සොයා බලා, භාෂා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැළි ප්‍රවීණ විද්වතුන් කණ්ඩායමක් සහ අදාළ සෙසු බලධාරීන් විමසමින් කෙටිකාලීන, මැදිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග යෝජනා කර ඇත. එසේ ඉදිරිපත් කළ වැදගත් යෝජනා කිහිපයක් මතු දැක්වේ: (i) ශාස්ත්‍රීය ස්වරූපයක් ගත් විෂය නිර්දේශ රාජ්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි වඩාත් ප්‍රායෝගික ආකාරයකට නැවත සකස් කර තිබීම; (ii) නව පාඨමාලා සඳහා ස්වයං අධ්‍යාපන මෙවලම් සකස් කිරීම; (iii) ඇතැම් ඉහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ දෙවන භාෂා ප්‍රවීණතාව ඇගයීමේදී විකල්ප සුදුසුකමක් වශයෙන් දැනට සැලකෙන අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී මව් භාෂාව (හර විෂයක් වශයෙන්) සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම වෙනුවට, අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී දෙවන භාෂාව සඳහා සාමාර්ථයක් ලබා තිබීම ප්‍රමාණවත් බවට යෝජනා කර තිබීම; (iv) රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු කරන අවස්ථාවේදී ලබා දෙන සේවාරම්භක පුහුණු වැඩසටහනෙහි අංගයක් ලෙස දෙවන භාෂාව පිළිබඳව මූලික දැනුමක් ලබා දීම අනිවාර්ය කිරීම; (v) රාජ්‍ය නිලධාරීන්ට සිය දෙවන භාෂාවෙන් වැඩකිරීමට ප්‍රමාණවත් භාෂා දැනුමක් ලබා ගත හැකි වන පරිදි ස්ථානමාරු ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම; (vi) ස්වකීය සේවා ව්‍යවස්ථාවල නියම කර ඇති පරිදි දෙවන භාෂා ප්‍රවීනතාව දැනටමත් අත්කර ගෙන සිටින නිලධාරීන් දෙවන භාෂා ප්‍රවීණතාව ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීම; (vii) වෛද්‍ය, ඉංජිනේරු, පශු වෛද්‍ය ආදී වෘත්තීන් මෙන්ම ඇතැම් කාර්මික ශ්‍රේණි සඳහාද අලුතින් සේවයට බඳවාගනු ලබන්නන්හට ද, ජාතික භාෂා ප්‍රවීණතාව පිළිබඳ අවශ්‍යතාව සපුරාලීම පිණිස ඔවුන්ගේ සේවාරම්භක පුහුණුවේදීම පැය 150 ක භාෂා පුහුණු පාඨමාලාවක් හැදෑරීම පිණිස අවස්ථාව සැලසීම; (viii) භාෂා පරිවර්තක සේවය ප්‍රතිව්‍යුහගත කිරීම; (ix) සිංහල/දෙමළ මූලික භාෂා දැනුම සහිත උපාධිධාරි අභ්‍යාසලාභීන් සඳහා විශේෂ භාෂා පුහුණුවක් ලබා දීම; (x) විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සඳහා පැවැත්වෙන සමාරම්භක පුහුණු වැඩසටහන්වලදී සිංහල හා දෙමළ භාෂා පිළිබඳව මූලික දැනුමක් ලබා දීම; (xi) රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය බැංකු සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම් වලට අලුතින් බඳවා ගන්නා නිලධාරීන් සඳහා රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගැනීමේ අවශ්‍යතාව අදාළ කිරීම (සේවයට බැඳුණු දින සිට වසර 5 ක කාලයක් ඇතුළත ප්‍රවීණතාව ලබා ගත යුතුය); (xii) 2019 වසරෙන් පසුව රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනී‍ම් සිදු කිරීමේදී සිංහල හා දෙමළ භාෂා දෙකෙහිම ප්‍රවීණතාව ලබා තිබීම අනිවාර්ය කිරීම.