• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා පනත් කෙටුම්පත
- සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස 2023-04-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමා සහ විදේශ කටයුතු ඇමතිතුමා විසින් ලබා දෙන ලද මග පෙන්වීම් අනුව "ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා පනත් කෙටුම්පත" සකස් කරනු ලැබ තිබේ. එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී ඇත. පොදු මහජනතාවට සහ උනන්දුවක් දක්වන සියලු පාර්ශ්වයන්ට තවදුරටත් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට හැකි වනු පිණිස එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා; අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා; සහ විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.