• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
යාන් ඔය ජලාශය හා වම් ඉවුර ඇළ මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ඉඩම් අහිමි වූ තෝරා ගත් පවුල් සඳහා ලබා දිය යුතු විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට වන්දි ලබා දීම
- යාන් ඔය ජලාශය ඉදිකිරීමේදී හොරොව්පතාන සහ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ඉඩම් ද වම් ඉවුර ඇළ මාර්ගය ඉදිකිරීමේදී හොරොව්පතාන, පදවිය සහ ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ඉඩම් ද අත්පත් කරගනු ලැබ ඇත. එලෙස ඉඩම් අහිමි වූ පවුල්වලින් කොටසකට විකල්ප කුඹුරු ඉඩම් ලබා දී ඇති අතර කුඹුරු ඉඩම් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා එම ප්‍රදේශ ආශ්‍රිතව ඉඩම් නොමැති වීම හේතුවෙන් පවරාගත් ඉඩම් හිමිකරුවන්ට කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදලක් ලබා දීමට 2023-03-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, වාරිමාර්ග අමාත්‍යතුමිය ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී:

* යාන් ඔය ජලාශය ඉදිකිරීම හේතුවෙන් ඉඩම් අහිමි වූ තෝරා ගත් පවුල් සඳහා ලබා දිය යුතු විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට ලබා දීමට ප්‍රමාණවත් ඉඩම් සංවර්ධනය සඳහා නිදහස් කර ගැනීමට හැකියාවක් නොමැති බැවින්, ගොවිතැන ජීවනෝපාය නොවන හා පිට පළාත්වල පදිංචි මෙතෙක් විකල්ප වාරි ඉඩම් ලබා දී නොමැති පවුල් සඳහා ඉඩම් වෙනුවට රුපියල් මිලියන 1.8 බැගින් වන්දි මුදලක් ‌ගෙවීම.

* වම් ඉවුර ඇළ මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ඉඩම් අහිමි වූ තෝරා ගත් පවුල් සඳහා ලබා දිය යුතු විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට ලබා දීමට ප්‍රමාණවත් ඉඩම්, සංවර්ධනය සඳහා නිදහස් කර ගැනීමට හැකියාවක් නොමැති බැවින්, අක්කර 1 1/2ක කුඹුරක් වෙනුවට රුපියල් මිලියන 1.8 බැගින් වන්දි මුදලක් ‌ගෙවීම.