• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
තෝරාගත් කුළුබඩු ආනයනය හා සැකසුම සහ තෙල් නිස්සාරණ, ඔලියොරෙසින් හා අවශේෂ ස්වරූපයෙන් ප්‍රති-අපනයනය කිරීම
- ශ්‍රී ලංකාවේ කුළුබඩු මුල් ස්වරූපයෙන් අපනයනය කිරීමට වඩා අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමෙන් වැඩි ආදායමක් ඉපයීමේ ශක්‍යතාවක් පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා සම්පූර්ණ නව නිමැවුමක් ලෙස, ඉහළ මට්ටමේ අගය එකතු කළ නිෂ්පාදන නිපදවීමට හැකි වන පරිදි මුල් ස්වරූපයෙන් ඇතැම් කුළුබඩු වර්ග ආනයනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, එකී නිෂ්පාදකයින්හට සිය වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමේ අවස්ථා සලසා දීම පිණිස තෝරාගත් කුළුබඩු ආනයනය හා සැකසුම සහ තෙල් නිස්සාරණ, ඔලියොරෙසින් හා අවශේෂ ස්වරූපයෙන් ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.