• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ගුවන්තොටුපොළවල් 09ක දී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම
- සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත බැංකොක්, බීජිං, ඩුබායි, හයිද්‍රාබාද්, කරච්චි, මාලේ සහ රියාද් යන ගුවන්තොටුපොළවල්වලදී ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු 2024-02-29 වන දිනෙන් ද, ක්වාලාලම්පූර් හා ජකර්තා යන ගුවන්තොටුපොළවල්වලදී ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු 2024-03-31 වන දිනෙන් ද අවසන් වීමට නියමිතව තිබේ. එකී ගුවන්තොටුපොළවලදී ඉන්ධන සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත. ගුවන්යානා ඉන්ධන සැපයුම් සමාගම් 11ක් විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර, කරච්චි ගුවන්තොටුපොළ සඳහා එක් ලංසුවක් සහ ඉතිරි ගුවන්තොටුපොළවල් 8 සඳහා ලංසු 02ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති ලංසුකරුවන් වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.