• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස කඩිනම් තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
- වසර 2030 වන විට ජාතිකව නිර්ණය කළ දායකත්ව ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. දැනට පවතින ක්‍රමවේද අනුගමනය කරමින් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගත වන කාලය මෙන්ම එකී ක්‍රමවේද අනුව කටයුතු කිරීමේදී උනන්දුවක් දක්වන ආයෝජකයින්ට මුහුණ පෑමට සිදු වන අපහසුතා සැලකිල්ලට ගෙන, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවට 2023 11 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමට සහ අදාළ ආයතන විසින් එකී තීරණ කාර්යක්ෂමව හා කඩිනමින් ක්‍රියාත්මක කරනු ලබන බව අධීක්ෂණය කිරීමට පහත සඳහන් ආයතන නියෝජනය වන පරිදි ඒකාබද්ධ ස්ථාවර කමිටුවක් පත් කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ජනාධිපති කාර්යාලය (කමිටු සභාපති)
* අග්‍රාමාත්‍ය කාර්යාලය
* මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
* ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
* වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය
* පරිසර අමාත්‍යාංශය
* සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය
* කර්මාන්ත අමාත්‍යාංශය
* විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
* වාරිමාර්ග අමාත්‍යාංශය
* ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය
* ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
* ලංකා විදුලිබල මණ්ඩලය