• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
දඬුවමට නියම වූ තැනැත්තන් භාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ලැට්වියා ජනරජය අතර එළැඹි ගිවිසුම
- ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් වෙනත් රටක පුරවැසියෙකු වරදකරු කොට දඬුවම් නියම කර බන්ධනාගාර ගත කරනු ලැබූ විට එම පුද්ගලයාගේ දඬුවම ඔහු පුරවැසියෙකු යැයි හිමිකම් පාන රට තුළ ගෙවා දැමීමට හැකි වන පරිදි අදාළ විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනතේ ඇතුළත්ව ඇත. එමෙන්ම යම් නිශ්චිත රටකදී බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනයකට ලක් කරනු ලැබූ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ඔහුගේ ඉතිරි දඬුවම් කාලය ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක ගත කිරීම සඳහා වන විධිවිධාන ද එකී පනතේ ඇතුළත්ව තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ලැට්වියා ජනරජය අතර වරදකරුවන් භාරදීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. නීතිපති දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සාකච්ඡා කර එකඟතාවකට එළඹ ඇති එකී ගිවිසුමට අත්සන් තැබීමටත් ඉන් අනතුරුව, එකී ගිවිසුම අපරානුමත කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.