• Increase font size
  • Default font size
  • Decrease font size

2023-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
කොළඹ ආරක්ෂක සම්මේලනයේ ප්‍රඥප්තිය, අවබෝධතා ගිවිසුම හා මූලස්ථාන ගිවිසුම අත්සන් කිරීම
- ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව ඇතුළුව සාමාජික රටවලට පොදු ආරක්ෂක තර්ජන හා අභියෝගවලට මුහුණ දීම මෙන්ම සාමාජික රටවල හර පද්ධතීන්ට ගරු කරමින් ක්‍රියාත්මක වන සම්මුතියක් වශයෙන් කොළඹ ආරක්ෂක සම්මේලනය ස්ථාපිත කරනු ලැබ ඇත. දැනට මෙම සම්මේලනය ඉන්දියාව, මාලදිවයින, මුරුසි රාජ්‍යය සහ ශ්‍රී ලංකාව සාමාජික රාජ්‍යයන් ලෙසත්, බංග්ලාදේශය සහ සීෂෙල්ස් රාජ්‍යය නිරීක්ෂණ රාජ්‍යයන් ලෙසත් කටයුතු කරනු ලබන කලාපීය සංවිධානයක් වශයෙන් ක්‍රියාත්මක වේ. එම සම්මේලනයේ කටයුතු වඩා විධිමත් කිරීම සඳහා ප්‍රඥප්තියක් අත්සන් කිරීමටත්, කොළඹ නගරයේ ස්ථාපිත කිරීමට යෝජිත එම සංවිධානයේ ලේකම් කාර්යාලයට අදාළව අවබෝධතා ගිවිසුමක් සාමාජික රටවල් අතර අත්සන් කිරීමටත් සහ ලේකම් කාර්යාලයේ කාර්යයන්ට අදාළව මූලස්ථාන ගිවිසුමක් ශ්‍රී ලංකාව හා ලේකම් කාර්යාලයේ ජනරාල්වරයා අතර අත්සන් තැබීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.